ඇඳට වෙලා ඔහේ දවල් වෙච්චි දේවල් මතක් කර කර උනු ගැරඬියගේ මූණේ මැවිලා තිබුණේ ලස්සනම ලස්සන හිනාවක්. එයා අතරමං වෙලා උන්නු කල්පනා ලෝකය එසේ මෙසේ කල්පනා ලෝකයක් නම් නෙවෙයි.
ඒ කල්පනා ලෝකයෙන් එයා මිදුණේ එක පාරටම phone එක ring වෙන්න ගත්තු නිසා. Phone එකේ screen එකේ තිබුණු නම දැකලා හිනාවක් දාපු ගැරඬියා එහෙම්මම කෝල් එක answer කළා. ඒත් එක්කම දෙවරක් නොහිතාම එයා කතා කළා.
" හෙලෝ... "
එහා පැත්තෙන් සත්සිඳුට ඇහුණේ එයාට හුරුපුරුදු අර දඩබ්බරයගේ කටහඬ.
" හෙලෝ සර්.. මං... "
සත්සිඳු රහසින් වගේ කතා කළා. මිගාන් උන්නෙත් ඇඳට වෙලා සිවිලිම දිහා බලාගෙන. එයාගෙ කටහඬ ඇහුනට පස්සෙ මිගාන්ට දැණුනේ ලොකූ සතුටක්. ඒත් එයා ඒ බවක් තියා කොල්ලව හඳුනා ගත්තු බවක්වත් පෙන්නන්න නම් ගියේ නෑ.
" මං කිව්වෙ...? "
එයා කොල්ලව දන්නවා. Number එකත් save කරලා තියෙන එකේ හඳුනා ගන්න බැරිකමක් නෑනේ . ඒත් එයා කතා කළේම සත්සිඳුව නොදන්න ගාණට.
" මං මං අනේ... "
" මං මං ගාන්නේ..තමුසෙට නමක් නැද්ද..? "
මිගාන් කතා කළේ බොරු කේන්තියකින් වගේ. එයාට හිනා යන්නත් එනවා. ඒත් බොහොම අමාරුවෙන් හිනාව පාලනය කරගෙන එයා කතා කරන්න වුණා.
" ඔහ් sorry.. wrong number... "
සත්සිඳු දුක හිතිලා වගේ හැදුවේ call එක cut කරන්න. ඇත්තෙන්ම එයාට දුක හිතුණා.
" ඒයි මේ.. ඔහොම ඉන්නවා.... "
" ඇයි..? "
සත්සිඳු කතා කළේම නෝක්කාඩුවෙන් වගේ. සත්සිඳු ඉන්නෙ දුකෙන් බව ගැරඬියටත් තේරුණා .
" දුක හිතුණද..? "
මිගාන් ඇහුවේ හරි නිවුණු හඬකින් .
" ඇයි අහන්නෙ..? "
" අනේ ඉතින්.. තරහා වෙලාද ඔය..? "
" තරහා වෙන්න ඉතින් යාළු වෙලා හිටියෙ නෑනේ.. අනික කොහොමත් ඔයා මාව දන්නෙ නෑනේ... "
එයා අර සුපුරුදු නෝකාකාඩු ස්වරයෙන්ම කතා කළා.
" දැන් කවුද කිව්වෙ යාළු වෙලා හිටියෙ නෑ කියලා.. අනික මං ඔයාව දන්නෑ කියලා.. ම්.... "
" ඇයි දැන් කිව්වෙ... "
" දැන්...! "
" ඔව්, ඇයි මං දැන් call කළාම අඳුරන්නෙ නැති ගානටනෙ කතා කළේ.. ඉතින් ඇයි දැන් මාත් එක්ක කතා කරන්නේ..? "
එයා මූණත් කොරහක් වගේ කරන් කටත් මොකක්ද එක වගේ හදාගෙන කතා කළා.
" අයියෝ babybabe.. විහිළුවටනේ ඉතින් දරුවෝ... "
ගැරඬියා කිව්වේ එයාව සනසන අදිටනින් වුණත් එයාගේ හිත නම් එහෙම ලේසියෙන් හදන්න බෑ.
" විහිළු වෙනයි ඕවා වෙනයි.. ඇස් රතු වෙන විහිළු කරන්න එපා.. ඒවයෙන් රිදෙන්නේ හිත.. හිතක් කැඩුණම හරියට බිඳුණු වීදුරුවක් වගේ.. කවදාවත්ම වතුර පුරවන්න බෑ.. ඒ වගේමයි බිඳුණු කණ්ණාඩියක් වගේ.. කවදාවත්ම හරියට ප්‍රතිබිම්බයක් දකින්නත් බෑ.. ඒ නිසා හිත් එක්ක සෙල්ලම් කරද්දි පරිස්සම් වෙන්න සර්... "
" අනේ මගෙ දරුවෝ.. මට සමාවෙන්න හරිද.. im really sorry babybabe.. මං ආයෙ ඔය වගේ විහිළු කරන්නෑ හරිද.. අනෙ අම්මේ ඉතින් මගෙ චූටි කොල්ලට පොඩ්ඩ ඇත්නම් දුක හිතෙනවනේ... "
" එහෙම තමයි මං... "
" කාරි නෑ කාරි නෑ.. හොටු බේරි බේරි අඬන බබෙක් බලාගන්න පුළුවන් මට ජීවිත කාලෙම..."
එයා කිව්වෙ හිනා වෙන ගමන්.
" කවුද දැන් අඬන්නේ.. මං නම් අඬන්නෑ... "
එයා කිව්වෙ මවා ගත්තු නෝක්කාඩු හඬකින් වුණත් ගැරඬියට නෑහෙන විදිහට හිනා වෙවී.
" ආ.. එතකොට අඬන්නෙ නැද්ද.. හා හා, ඒකට කමක් නෑ.. මං දන්නවා ඔය ආඩම්බරකාරකම් ඔක්කොම නැති කරලා අඬවන විදිහ.. ඉවසන් ඉන්නකෝ... "
මිගාන් ටිකක් ඇහෙන නෑහෙන ගානට රහසින් වගේ කිව්වෙ හිනා වෙන ගමන්.
" මොකක්...! "
" තේරුණෙ නැද්ද..? "
එයා කොහොමත් ටියුබ් ලයිට්නේ. තත්පර ගානක් ගිහිල්ලයි ගැරඬි උත්තමයා ඒ නොකියා කියපු කාරණාව එයාට වැටහුනේ.
" දෙයියනේ...! අනේ සර්.. ඔයා නම් හරි වල් වෙලා අප්පා.. අපොයි අපොයි... "
එයා එහෙම කියද්දි ඉතින් ගැරඬියාටත් හිනා. සත්සිඳු ත් එයත් එක්කම ඒ හිනාවට හවුල් වුනාම ඉතින් එතන හිනා සාගරයයි. කොහොමත් ඉතින් සත්සිඳු කියන්නෙම මුහුදු හතක්නේ..
" මේ babybabe... "
" සර්... "
" ඇයි මේ රෑ වෙලා හදිස්සියෙන්ම...? "
" මට පාළු හිතුනා ඉතින්... "
එයා ඇත්තම කිව්වා. එයා උන්නේ පාළුවෙන්. ඊටත් එහා ගිහින් හිත අස්සෙ ගැරඬි උත්තමයා පෙරළි කරනවා. එයාව මතක් වුනාට පස්සෙ ඉතින් call නොකර ඉන්නම බැරි වුනු නිසයි එයා කතා කළේ..
" අනේ මගෙ දරුවෝ.. අහන්නකෝ... "
" ම්... "
" මීට පස්සෙ ඔයාට පාළු හිතුනොත් මොකක්ද දන්නවද කරන්න ඕනි... "
එයා ඇහුවේ ප්‍රශ්නකාරී හඬකින්. ඇත්තෙන්ම මොකක්ද ඒ වගේ වෙලාවට කරන්න ඕනි කියලා සත්සිඳුට හිතාගන්නත් බෑ. එයා ඇඳට වෙලා සිවිලිම දිහා බලන් උන්නේ ඇස් දෙකත් නළලට අරන් පුදුම සහගත වෙලා.
" ම්... ඇහුණද? "
" මොකක්ද සර්..? "
" හිතාගන්න පුළුවන්ද මොකක්ද කරන්න ඕනි කියලා... "
" ම්හ්.. බෑනේ... "
" මෙච්චරයි, මං දැන් පාළු මැකීමේ සේවයක් කරගෙන යනවා. ඔයාට කියන්න ඔයාට ඕනි නම් මං free package එකක් දාලා දෙන්නම් ඔයාට... "
එයා කිව්වෙ සීරියස් විදිහට වුනත් සත්සිඳුට නම් ඒකට හිනා ගියා.
" ඇයි යකෝ හිනාවෙන්නේ.. මං ඇත්තනේ කිව්වෙ.. කොහොමද, ගැරඬියා පාළු මැකීමේ සේවය , කිරුළපන.. ඒ address එක හොඳේ. Number එක නම් තියෙනවනේ.. ඕනි නම් ජංගම සේවය වුනත් සපයනවා ඔය කුමාරතුංග මුනිදාස මාවතේ පරණ නුග ගස් යට එහෙම... "
සත්සිඳුට පණ යන්න හිනා. මේ ගැරඬි කෝලම කියන ඒවාට හිනා ගියේ නැති වුනොත් තමයි පුදුම..
එයා එහෙම්මම තොල් දෙකත් හපාගෙනම හිනා වෙවී උන්නා. ඒත් එහා පැත්තෙන් ඇහෙන හිනා හඬ ඇහෙද්දිත් ගැරඬියට හරි සතුටුයි. එයාගේ හිත අස්සෙ උතුරන සතුට.. ඒ සතුට කියලා නිම කරන්න බැරි තරම්. ඇත්තමයි , ඒ සතුට විස්තර කරන්න නම් එයාට වචනත් නෑ.
මිගාන් ඒ හිනා හඬට කන් දී ගෙනම උන්නේ මූණේ ලස්සනම ලස්සන හිනාවකුත් පුරවගෙන .
" සර්... "
එයා හිනාව නවත්තලා කතා කරන්න ගත්තා.
" babybabe... "
" එතකොට ඔයා කියන්නෙ ඔයත් එක්ක කතා කරන්න කියල නේද..? "
" හ්ම්.. ඔව්, ඔයාට පාළු හිතෙන හැම මොහොතකම මේ ඩිනෝ මිගාන් සමරදිවාකරගේ phone එක විවෘතයි ඔයා වෙනුවෙන්.. ඕනිම වෙලාවක කතා කරන්න දරුවෝ.. හරිද.. ඔය හිතට දුකක් , කරදරයක් ආව ඕනිම වෙලාවක මට කතා කරන්න.. හිතට සැනසීමක් එනතුරු මාත් එක්ක කතා කරන්න.. මට විශ්වාසයි, මට පුළුවන් ඔය හිත නිවන්න.. දන්නවද දෙයක්... "
" ම්..මොකක්ද..? "
" මං ඔයාට මේ දැන් දෙයක් පොරොන්දු වෙනවා... "
එයා ඒ වචන ටික කිව්වෙ තිර අදිටනින් වගේ. ඒ කියපු ස්වරයේ පවා ගැබ් වෙලා තිබුණේ විශ්වාසයක් . සත්සිඳු ඒ ගාම්භීර ස්වරයට වහ වැටිලයි උන්නේ..
" සර්... "
" babybabe , අද මේ මොහොතේ ඉඳ්න් ඔයාගෙ සතුටෙදි වගේම දුකේදිත් මේ මිගාන් ඔයත් එක්කම ඉන්නවා මගෙ දරුවෝ.. මං දන්නවා ඔයත් නොකිව්වට මට ආදරෙයි.. ඒක කියාගන්න ඔයා බයයි.. එහෙම නේද.. හිත හයිය කරගන්න දරුවෝ.. කමක් නෑ , මං බල කරන්නෑ කියන්න කියලා.. ඔයාට හිතිච්ච දවසක කියන්න.. මට එතකන් බලා ඉන්න පුළුවන්.. අනිත් එක මං දැන් දන්නවනේ ඔය හිතේ කොණක හරි මං ඉන්නවා කියලා... "
එයා එයාගේ ගාම්භීර හඬින් ස්ථීරසාර විදිහට කියද්දි සත්සිඳු නිවී සැනසිල්ලේ ඒ හඬට ඇහුම් කන් දුන්නා.
" කොහොමද..? "
සත්සිඳු එක පාරටම ඇහුවේ එහෙම.
" නැත්නම් ඉතින් අර වෙලාවෙ අර විදිහට ඉන්නෙ නෑනේ... "
" ඈ... කොයි වෙලාවෙද..? "
" ඇයි දරුවෝ..අර මං ඔයාව බෝඩිමට ඇරලවපු වෙලාවේ.. ම්.. මතකද.. ඔයාගෙ ඔය පුංචි තොල් දෙක මං මගේ කරගත්තේ... "
එයාට නම් දැන් ලැජ්ජත් එක්ක. මිගාන් ඔහේ කියවනවා. සත්සිඳු ඇඳට වෙලා උන්නට මොකද ලැජ්ජාවෙන් ඇඹරෙනවා.
මිගාන් ඒක කිව්වත් හරි එහා පැත්තෙන් නම් සද්දයක්වත් නෑ. එයාට ලැජ්ජ හිතිලා.
" babybabe.. ඔයා ඉන්නව නේද...? "
" සර්... "
" ඉතින්... "
" ලැජ්ජයි අනේ... "
" ආ...! ඒ මොකෝ... "
" ඉතින් , ඕවා ගැන කියද්දි ලැජ්ජ හිතෙනවනේ... "
එයා කිව්වෙ අහිංසක විදිහට.
" එහෙම කියලා බෑ ඉතින්.. දැන් ඔය රෝස පාට තොල් දෙක ඔයාටවත් අයිති නෑ හරිද.. දැන් ඔය තොල් පෙති මගේ.. මගේම විතරයි.. තේරුණාද මගේ babybabe ට...? "
" දැන්මම අයිතිවාසිකම් කියනවද..? "
" එහෙම තමා මං.. මගේ දේවල් මගේ විතරයි.. අඩු තරමින් ඔයා මගේ වුනාට පස්සෙ ඔයාටවත් ඔයාව අයිති නෑ.. එතනින් එහාට ඔයා මගේ.. මගේ දේවල් පරිස්සම් කරන එක මගේ වගකීම.. ම්.. හරිද...? "
" හ්ම්... "
" හ්ම් නෙවෙයි.. තේරුණාද..? "
" තේරුණා ගැරඬි මහත්තයෝ.. තේරුණා... "
එයා කිව්වෙ හුරතල් වෙවී.
" අනේ ඉතින් හුරතලේ.. ළඟ උන්නානම් ඔය කම්මුල් දෙක මිරිකනවා මං... "
" මොකක්..! "
" ඔව්, දැන් මගේනේ... "
ඒත් එක්කම දෙන්නම හිනා වුණා. ඇත්තමයි, දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් පාළුවක් කියලා දෙයක් නම් දැන් ළඟ පාතකවත් නැති ගානයි. පාළුව කියන්නේ මොකක්ද.. ප්‍රේමයෙන් බර වෙච්චි හදවත්වලට පාළුව කියන්නෙ හරියට හිරු දුටු කදෝපැණියෙකු ගානයි.
" ඉතින් babybabe... "
" ම්... "
" දැන් පාළුවක් නෑ නේද මගෙ දරුවෝ..."
" නෑ.. ඔහොම්මම ළඟින් ඉන්න පුළුවන්ද..? "
" පුළුවන් දරුවෝ.. ජීවිත කාලෙම.. ඔය අත මං අල්ලගන්නේ ආයෙමත් අත් හරින්න නෙවෙයි.. ඒත් යථාර්ථය නම් දවසක මට ඔය අත අතාරින්නම වෙනවා.. හැමදේම ස්ථීර නෑනේ.. හැබැයි ඒ අත් හරින්න වෙන හේතුව අපි දෙන්නගෙන් කාගෙ හරි කෙනෙක්ගේ මරණය.. ඔව් , අපිව වෙන් කරන්න පුළුවන් මරණයට විතරමයි.. ඒ අන්තිම හුස්ම වෙනකනුත් මං ඔයත් එක්කම ඉන්නවා මගෙ දරුවෝ... "
" සර්... "
" ම්හ්.. අහන් ඉන්න... "
එයා එහෙම කිව්වේ සත්සිඳු මැදින් පැනලා අතිරේක දැන්වීම් පළ කරන්න එන හින්දා.
" babybabe.. ආදරේ කියන්නෙ මොකක්ද කියලා මං දැනන් උන්නෙ නෑ.. ඒත් මට ජීවිතේ පළවෙනි වතාවට වෙන්න ඕනි මෙහෙම ආදරයක් දැනුනේ.. ඒකත් කොල්ලෙක් ගැන.. මට ගෑණු ඕනි නෑ.. මට ඕනි උඹව විතරයි.. උඹ මගේ පණ ටික මගේ දරුවෝ.. මගෙ babybabe නැතුව මට ජීවිතයක් නෑ.. මං ඒ තරමටම ඔයාට ගොඩාක් ආදරෙයි... "
" අනේ සර්... "
එයාට ඇඬෙන්න වගේ. ඒත් අඬන්න ගිහින් බැනුම් අහන්න බෑනේ. මොකද එයාමනේ කිව්වෙ ඇස් දෙකට නිස්කාරණේ කඳුළු තහනම් කියලා. ඒත් ඒ එන කඳුළු නිස්කාරණේ එන කඳුළු නෙවෙයි. හේතුවක් ඇතිව එන කඳුළු.. ඒ ආදරේ නිසා..
" අඬන්න ඔට්ටු නෑ හරිද.. "
එයා කිව්වෙ හරියට බලන් හිටියා වගේ. එච්චර කෙනෙක්ව දැනෙනවද කියලත් සත්සිඳුට නම් ඒ මොහොතෙදි පුදුම හිතුණා.
අඬන්න ඔට්ටු නෑ කිව්වට පස්සෙ කොහොමත් අඬන්න බෑනේ. එයා එහෙම්මම ඇස් කෙවෙනි අතර ගලන් ඇවිත් තිබුණු කඳුළු බිඳිතිත් පිටි අත්ලෙන් පිහදා ගෙන ආයෙමත් මූණ ලස්සන හිනාවකින් පුරවගත්තා.
" සර්... "
" babybabe... "
" නිදිමත නැද්ද...? "
" මටද..? "
" හ්ම්... "
" ඇයි babybabe ට නිදිමතද...? "
" චූට්ටක් විතර... "
සත්සිඳු කිව්වෙ හුරතල් විදිහට.
" එහෙනම් නිදාගන්න.. මං තියන්නම්..."
එයා හැදුවේ call එක cut කරන්න.
" හෝව් හෝව්.. යන්න එපා.. ඔහොම ඉන්නකෝ... "
සත්සිඳු කිව්වේ හදිස්සියෙන් වගේ.
" ඇයි දරුවෝ..? "
ඒ කියපු විදිහට නම් ගැරඬියත් කලබල වුණා සත්තකින්ම.
" මට නින්ද යනකන්.... "
එයා කතා කළේ වචන මගින් මගට කඩ කඩා..
" ඔව්... "
" මට නින්ද යනකන්.... "
" කියන්න ඉතින්.. දැන් දෙපාරක්ම කියන්න ගිහින් නැවැත්තුවා.. කියන්නකෝ... "
එයා ඒ දේ අහගන්න ඇස් කන් අයාගෙනයි බලන් උන්නේ. එහෙම්මම දෙවරක් හිතන්න ඉඩ නොතියාම සත්සිඳු හිතේ තියෙන දේ කියලා දැම්මෙ එයාගෙ අර සුපුරුදු හුරතල් කටහඬින්මයි.
" මට නින්ද යනකන් සින්දුවක් කියන්නකෝ... "
" අයියෝ... ඕකටද මේ මෙච්චර වෙලා තැවී තැවී හිටියේ.. අනේ දරුවෝ... "
" ඇයි අනේ...? "
" හරි හරි ඉන්නකෝ.. ම්... දැන් මගේ babybabe ට මොකක්ද අහන්න ඕනි song එක.. බයවෙන්න එපා, ගැරඬියා fm එකේ ඕනි තරම් songs තියෙනවා.. මේ පැත්තට call එකක් දීලා ඕනි song එකක් ඉල්ලගන්න පුළුවන්... "
අනේ ඉතින්.. එයත් එක්ක කෝලම් කරන එක මිගාන්ගේ හිතට අරන් එන්නෙම පුදුමාකාර සතුටක්. ඉතින් දැන් ගැරඬියා fm එකෙන් එයාගෙ babybabe ට සින්දුවක් දෙන්නයි සූදානම..
මිගාන් හිනා වෙවීම ආයෙමත් කතාවට වැටුණේ පුංචි තත්පර දෙකක තුනක විරාමයකට පස්සේ. එයා උගුර පෑදුවා. සත්සිඳු phone එකත් කණේ තියාගෙනම අහන් උන්නේ ගැරඬියගේ හඬ..
" ඔව්, කෝලර් කෙනෙක් ඉන්නවා.. කවුද මේ..? "
එයා කතා කළේ හරියට fm channel එකක announcer කෙනෙක් වගේමයි.
" අ.. මම සිරිපාල.... "
ඒ සත්සිඳු .
" ඔව් සිරිපාල.. කොහෙන්ද කතා කරන්නේ..? "
" මම දෙහිඅත්තකණ්ඩියෙන්... "
" ඔව් සිරිපාල මොකක්ද ඉල්ලන song එක..? "
" එහෙම විශේෂ සින්දුවක් නෑ මහත්තයෝ.. ඔය මහත්තයා කැමති මොකක් හරි එකක් දෙන්ටකෝ... "
එයා කිව්වෙත් හිනා වෙවී.
" හරි සිරිපාල.. එතකොට කාවද එකතු කරගන්නේ song එකට..? "
" මායි, මගේ හාමිනෙයි, ළමයි තුන් දෙනයි, මහත්තයවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි... "
" ඈ යකෝ.. උඹට කොහෙන්ද හාමිනේ කෙනෙක්.. මමනේ ඉන්න එකම හාමිනේ... "
මිගාන් කිව්වෙ බොරු නෝක්කාඩුවක් මවා ගෙන.
" හරි හරි අනේ.. එහෙම තමයි fm channel වලට call කරද්දී.. කෝ ඉතින්, දැන් සින්දුව දෙන්නකෝ... "
එහෙම කියද්දි නම් මිගාන් උගුරත් පෑදුවා. සත්සිඳු phone එකත් කණේ තියාගෙන මූණේ ලස්සන හිනාවකුත් පුරවගෙන ඒ හඬට ඇහුම් කන් දී ගෙනම උන්නා.
ඒ මොහොත තුළදීම එයා ඒ ප්‍රේමණීය හඬ විවර කළා. ඔව්, ඒ හඬ නම් ආත්මීයයි.
අවකාශයට මුහු වෙලා ඒ දුරකථනයේ එහා පැත්තෙන් ඇහෙන ඒ හඬ.. ඔව්, ඒ හඬ ඇයි ආත්මීය නොවන්නේ..
" ඔබ රුව දුටු විට හද කිති කැවෙනවා සත්තයි..
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි..
මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි..
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි..
ඔබ රුව දුටු විට හද කිති කැවෙනවා සත්තයි..
මට ගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි..
මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි..
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි..
ඔබ රුව දුටු විට හද කිති කැවෙනවා සත්තයි..
මට ගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි..
මල් වල රොන් බී වන බඹරුන් පියඹන්නේ..
මල් රොන් නැතිනම් ආයෙත් නෑ උන් එන්නේ..
ඔය මල ළඟ හිඳ මේ බඹරා ළත වෙන්නේ..
රොන් ගන්නට නොව මල සිඹින්න සිත දෙන්නේ..
මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි..
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි..
ඔබ රුව දුටු විට හද කිති කැවෙනවා සත්තයි..
මට ගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි..
මට කියාගන්න බැරි ආදරයක හිත පැටලෙයි..
හිත පුරා ඇඳි සිරි බැලු බැලු තැන ඔබව පෙනෙයි..
හද පත්ලේ බැඳි පෙම දැන් ටික ටික ලියලයි..
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි..."
සත්සිඳු ඒ හඬට ඇහුම් කන් දී ගෙනම උන්නා. භාවනාවකටත් වඩා වැඩියෙන් සමවැදිලා වගේ ඇහෙන ඒ හඬ..
නිවුණු ස්වරයක් නොවුණත් ඒ හඬේ ගාම්භීරත්වයත් එක්ක හරි හරියට ඒ වචන පෙළ හිතට කා වදිනවා.
ඉතින් කොහොම නම් හිත ඒ ඇහෙන හඬේ ස්පර්ශයෙන් අහකට ගන්නද.. හරියට මලකට ඇලිලා රොන් බී මත් වුණු බමරෙකු විලසින්ම වගේ එයා ඒ හඬට ඇලී ගැලී උන්නා.
" ලස්සනයි සර්... "
" ඇත්තටමද..? "
" හ්ම්.. ගොඩාක්... "
" thank you my babybabe.. thank you very much... "
ඇත්තමයි, එයා ස්තූති කළා.
" ඉතින් කියන්නකෝ.. දැන් මගේ babybabe ට පාළුවක් නෑ නේද..? "
" ම්හ්.. පොඩ්ඩක්වත් නෑ... "
" ඒකනේ ඒකනේ.. එහෙනම් ඉතින් අනිවාරෙන්ම මීට පාළු හිතුනම ගැරඬියා පාළු මැකීමේ සේවයට අමතන්න ඕනි.. හරිද..? "
මිගාන් කිව්වෙ හිනා වෙවී.
" අනිවා අනිවා.. අනිවා මං අමතනවා... "
එයත් හිනා වෙවීම කිව්වා.
" babybabe... "
" සර්... "
" ඒක නිකන් පද ටිකක් වුනාට ඒක මං හිතලමයි කිව්වෙ.. ඔයා වෙනුවෙන්... "
එයා රෝමාන්තික හඬකින් කියද්දි සත්සිඳු පුදුමෙනුත් පුදුමයට පත් වුණා.
" මං වෙනුවෙන්...! "
" හ්ම්.. ඔයා වෙනුවෙන්... "
" මට තේරෙන්නෑනේ සර්... "
එයා කිව්වෙ ඇත්තෙන්ම ගැරඬියා කිව්ව දේ එයාට හරියටම නොතේරුණු නිසාමයි.
" ම්.. එහෙනම් අහගන්නකෝ... "
එහෙම කියලා එයා ආයෙමත් මිමිණුවේ අර කලින් කිව්ව පබැඳුමේ පද පේළියක්.
" මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි..
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි..
ඔබ රුව දුටු විට හද කිති කැවෙනවා සත්තයි..
මට ගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි... "
එයා ඒ පද ටික කියලා ගත්තෙ ලොකු හුස්මක්. ඒ හුස්මත් එක්ක සත්සිඳු phone එක කණේ තියාගෙන උන්නෙත් ඇස්වල කඳුළු පුරවගෙන .
එයාට ඒ ලස්සන නෙලාගන්න බැරිලු. ඇත්තෙන්ම ඒ ලස්සන මල් පවා පරාද කරනවලු. ඒත් ඉතින් එයා හිමි නැති තැන හිත හදාගන්නත් බැරිලු. ඒ විතරක් නෙවෙයි එයාව දකිද්දි ඒ හිතත් කිති කැවෙනවලු. තවමත් එයාට බැරි වෙලා තියෙන්නේ පෙම් කවියේ මුල් පදය ගොතා ගන්න එකලු.
හැබැයි ඒ වෙද්දි ඒ නපුරු හිතුවක්කාර ගැරඬියා උන්නේ ඒ මුල් පදය ගොතන ගමන්..
අහම්බයක් වගේ ජීවිතේ කියන පොතට අලුතින්ම එකතු වෙලා තියෙන ඒ පරිච්ඡේදය ලියන ගමන්..
ඉතින් ඒ ගත වෙන සොඳුරුතම මිහිරිතම නිමේෂයන් එක්ක මුහු වෙලා හිත ආනන්දයෙන් පුරවනු විනා කොයින්ද වේදනාවක්.. පාළුවට, තනිකමට හැමටම නොකියා පෑල දොරින් පලා යන්න වෙලා.. එහෙමයි ඉතින් ජීවිතේ.
හොඳම හමුවීම ජීවිතේ සුන්දර කරන අපූරුව නම් හිතාගන්නවත් බෑ. එයාලා උන්නේ ඒ හමුවීමේ උත්කර්ෂය විඳිමින්.
මහා මේරුව තරම් ආදරයක් ඒ දෙහිතටම දැනෙන්න අරන් තිබුණා. සත්සිඳු වුනත් වචනයෙන් නොකිව්වට මොකද අර නමක් නැති නිමක් නැති ඒ හැඟීමට පණ දෙන්න අරන් උන්නා.
වස්සානයත් ගිම්හානයත් අතරමැද සෘතුවක නතර වෙලා ජීවිතේ ආදරය නම් සෘතුවට අත වනමින් ජීවත් වෙන එක තරම් රෝමාන්තික හිතකට තවත් ආශිර්වාදයක් නම් කොයින්ද..
" babybabe... "
" ම්... "
" ඇයි මොකුත්ම නොකියන්නේ..? "
ඒත් එයා නම් නිහඬයි. ඒත් මිගාන් කතා කළා.
" ඇත්තමයි , මට නින්ද කියලා නාමයක්වත් එන්නෙ නෑ දරුවෝ.. මට ඔයාව හරියට මතක් වෙනවා.. ඔයා මගෙ හීනවලටත් ඇවිත්.. දැන් නම් මේ හිත මොන මාර දූතිකාව ආවත් හොල්ලන්න බෑ... "
ඒත් සත්සිඳු නිහඬයි.
" කතා කරන්නකෝ... "
" ම්... "
" නිදිමතද..? "
" ටිකක්... "
" එහෙනම් නිදාගම්මු.. මාත් නිදාගන්නම්... "
එයා එහෙම කිව්වම සත්සිඳු යාන්තමට හිනා වුණා. ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ව මේ තරම් සමීප විදිහට දැනෙද්දි ඒ දේවල් ගැන සත්සිඳුට වුනත් දැනුනේ පුදුමය කියන වචනයම විතරයි.
ඒ දෙන්නගේ කියවිල්ල නම් ඉවරයක් නෑ. බොළඳයි තමයි. ඒත් බොළඳ බවින් තොර වූ ආදරයක්.. එහෙම ආදරයක් තියෙනවද.. මිනිහෙක්ට බොළඳ නොවී ආදරේ කරන්න පුළුවන්ද.. ආදරේ කියන වචනය අස්සෙම බොළඳතාවය කියන වචනය ගැබ් ගැන්විලයි තියෙන්නේ.. ඉතින් කොහොමද ආදරේ බොළඳ බවින් මිදෙන්නේ..
විටෙක බොළඳ වුනාට මොකද ඒ වචනය හරි සංකීර්ණයි. දෙහිතක් එකිනෙක බැඳී ඇති වෙන අසීමාන්තික හැඟීම් ආවලියක සංකීර්ණ වූ සබැඳියාවක්..
ඒත් ආදරේ සංකීර්ණයි කියලා මිනිහෙක්ට ඒ සංකීර්ණ වේශයෙන්ම ආදරේ කරන්නත් බෑ. ඔහු හෝ ඇය එක් මොහොතකට හෝ බොළඳ විය යුතුමයි. නැතිනම් ආදරයේ නියම රසය නොදැනෙන්නට වුව පුළුවනි..
" babybabe, එහෙනම් නිදාගන්න.. good night.. පරිස්සමින්.... "
" Good night සර්.. ඔයත් පරිස්සමින්..බුදු සරණයි...! "
" බුදු සරණයි මගෙ දරුවෝ..! මං හෙට එන්නම්... "
" හ්ම්... "
ඒ කතා බහ එතනින් ඉවරයි. ඒ දෙහිතටම දැනුනු පාළුවක් වුනා නම් දැන් ඒ පාළුව කියන දේ මරු මුවට පත් වෙලා අහවරයි.
කාමරේ දැල්වෙමින් තිබුණු කහ පාට බල්බ් එළියට සමු දුන්නු සත්සිඳු ඒ බල්බ් එක off කරලා දාලා ආයෙමත් අඩ අඳුර මැද්දෙන් ඇඳට පැනලා මුනින් අතට වැතිරිලා එහෙම්මම ඇස් පියා ගත්තා. එයාගේ හිතේ ඉන්න ගැරඬියත් උන්නේ එයාගේ කාමරේ සිවිලිම දිහාවට ඇස් යොමාගෙන මූණ ලස්සනම ලස්සන හිනාවකින් සරසාගෙන. ඒ වෙන මොකුත්ම නෙවෙයි , ආදරයේ සදාතනික වූ සංකේතයන්..
වරු ගණන් වුනත් කතා කරන්න නම් කොච්චර දේවල් තියෙනවද.. ආදරය කියන්නෙම ඒ තරමටම ගැඹුරු අදහස්වලින් පිරුණු මාතෘකාවක් වෙන්නෙ අන්න ඒ හින්දා.. දිනෙක ග්‍රීෂ්මයේ උණුසුමින් මේ හදවත නමැති මහ පොළව ඉරි තලා යාවි. දිය කඩිති සිඳී යාවි. එහෙත් ආදරය ඉතුරු වේවි..
තවත් මොහොතක ඒ හදවත නමැති මහ පොළව ආදරයේ වර්ෂාවෙන් තෙත බරිත වේවි. දළු ලා වැඩේවි. දිය ගං කදුරු පිරී යාවි. අර පෙර කී රෝමාන්තික ආදරය නම් හැඟීම හදවතෙහි සශ්‍රීකවත් වේවි..
සඳ රැස් වලා මැද්දෙන් ගලන් එද්දි එයාලා ඒ හදවත් අතරමැද සිතුවිලි මවා ගනිමින් , හැඟීම් නිවාගනිමින් නිදන්න වුණා. නුරා අවුළුවා ලූ රැයට සමු දෙමින් අලුත් දවසකට පණ දෙමින්..
මීළඟ කොටසට ...