LightReader

Chapter 12 - 12

" වේලාව පෙරවරු 6 යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති ."

උදේම නැඟිටලා සත්සිඳු ඇඳ අද්දර තිබුණ පුංචි රේඩියෝ එක on කළා. උදේම ප්‍රවෘත්ති අහන එක ඒ කාලේ ඉඳන් වැල්ලේ උදවියගේ සිරිතක් වෙලා තිබුණා . ඉතින් කොල්ලටත් ඒ පුරුද්ද එහෙම්මම ඇවිල්ලා. පෙරවගෙන හිටපු රෙද්ද නවන ගමන් හිටපු කොල්ලට ඇහුණේ රේඩියෝ එකෙන් කියන අමුතුම ප්‍රවෘත්තියක්.

" ඊයේ රාත්‍රියේ තුම්මුල්ල හංදියේ වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ කවුරුන් අතරද යන වග තවමත් තහවුරු වී නොමැත. කෙසේ වෙතත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ශේන් සල්ගාදු මේ හා සම්බන්ධ බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ..."

කොල්ලා උඩ බිම ගිහින් අත් ඇරියා වගේ වුණා . මොකද ශේන් සල්ගාදු කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවන බව කොල්ලා දන්නවා. ශේන්ගේ අතේ මුළු පාතාලයෙන්ම හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා.

' එතකොට මූ ආයෙමත් වැඩ පටන් අරන්...අනේ මන්දා මුන් නම්. රට කන කාලකණ්ණි හැත්ත...'

සත්සිඳු හිතෙන් හිත හිතාම ගිහින් යන්න ලෑස්ති වුණා . දැන් ඉතින් ලොක්කා ඕකටත් ආර්ටිකල් එකක් ලියන්න කියයි කියලා කොල්ලා හිටියේ හෙණ බයෙන්. මොකද ඩිනෝ මිගාන් සමරදිවාකර මහත්මයා වගේ නෙවෙයි. ශේන් සල්ගාදු නම් ඉස්සුවොත් ඉස්සුවම තමයි. ආයෙමත් කොල්ලට ඒමක් නෑ. අනේ ඉතින් ඊට වඩා හොඳයි කෝච්චියට බෙල්ල තියන එක.

කොල්ලා සුදු පාට අත් දිග ශර්ට් එකක් ඇඳලා නිල් පාට ඩෙනිම් කලිසමකුත් ඇඳලා ගිය මාසේ පඩියෙන් ගත්තු ලොකු ඔරලෝසුවත් අතේ බැඳගත්තා. ලොකුම ලොකු ෆයිල් මිටියක් මේසේ පැත්‍තක . කොල්ලා ඒ දිහා බලලා ලොකූ හුස්මක් ගත්තේ එහෙන් මෙහෙන් හැඩි වෙලා අවුල් වෙලා තියෙන කිසිම පිළිවෙලක් නැති මේසය දිහා බලාගෙන . නිවාඩුවක් දාගෙන මේ මේසය අස් කරන්න ඇත්නම් කියලා හිතෙන වාර අනන්තයි. ඒත් ඉතින් ඉස්පාසුවක් නැති ජීවිතේ මේසය පිළිවෙළට අස් පස් කරගන්නවත් වෙලාවක් නෑ.

තවත් වෙලාවක් මේසය දිහා බලන් ඉන්න ගියොත් නම් ඔළ්‍ය්ව කුරුවල් වෙනවා. ඊට වඩා මෙතනින් සීරුවෙන් මාරුවෙලා යන එක මානසික සුවතාවය වෙනුවෙන් වැදගත් බව හිතපු කොල්ලා ක්ෂණික පටස් දොරත් වහගෙන එළියට බැස්සා.

ශ්‍රී සුමංගල පාර දිගේ පන්නිපිටියට ඇවිත් කොල්ලා බස් එකක නැග්ගේ කිසිම කම්මැළිකමක් නැතුව. සුපුරුදු පරිදි බස් එකේ අයිනක වාඩි වෙලා කවුළුවෙන් පිටත බලන් යන කොල්ලගේ ඇස් මානෙට පේන්නෙම ලස්සන ලස්සන දේවල්. ඈත අහසේ කෙළවරක ඉඳන් මෙහාට පියාඹාගෙන එන කුරුලු රංචුවක්. බසය ඇදී ගෙන යන වේගය නිසාවෙන් විවර වුණු කවුළුවෙන් ඇඟේ වැදී ගෙන අතුරුදන් වෙලා යන සීත පිනි බිඳු. තැන් තැන්වල අතරින් පතරින් වැවුණු කැලෑ රොදවල්. කැලෑ කිව්වට වල් වැදුණු තැන්. ඒත් ඒවා හරි ලස්සනයි . කොල්ලට පේන්නෙම කතරගම හෝ ත්‍රිකුණාමලය වගේ පැත්තක ශුෂ්ක පරිසරය . ඒත් ඒ පරිසරය වගේ නෙවෙයි. උදේ පාන්දරට කොළඹ අහස යට පරිසරය පුදුමාකාර සුන්දරයි . බෝඩිමේ නම් එක පැත්තක තියෙන සේපාලිකා මල් ගහේ සුවඳ මල් වැටිලා , ඕකිඩ් පැළවල මල් පිපිලා තියෙනවා දකිද්දී හිතට පුදුමාකාර සතුටුයි. කොහොමින් කොහොම හරි තුම්මුල්ලත් පහු කරගෙන ඇවිත් කොල්ලා කුමාරතුංග මුනිදාස මාවතට ආවට පස්සේ සීට් එකෙන් නැඟිටලා ඉස්සරහට ආවා.

කොල්ලා කුමාරතුංග මුනිදාස මාවතෙන් බැහැලා පයින් ඇවිදගෙන ඉස්සරහට එද්දී බැලුවේ සුපුරුදු බදන්න බැරි තරම් මහත විසල් නුග ගහ දිහා. සුපුරුදු වාහනේ එතන තිබුණේ නෑ. දැන් දැන් නම් කොල්ලත් ඒ වාහනේ දර්ශනය බලාපොරොත්තු වෙන හැඩයි. සුපුරුදු වාහනේ හෝ සුපුරුදු රුව නුග ගහ යට නැති නිසාවෙන් හිනා පිරුණු මූණ ටිකක් විතර අඳුරු වුණා . නොකිව්වට මොකද කොල්ලටත් නොදැනිම ඒ ඇස් බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු ගැරඬි රුව.

ඒත් අද නම් ගැරඬියා ඇවිත් නෑ. කටකාර අහිංසකයා මූණත් නරක් කරගෙන කුමාරතුංග මුනිදාස මාවත දිගේ එහෙම්මම ඉස්සරහට ගිහින් රැජින පාරට වැටුණා . දැන් කොල්ලා යන ගමන්. මූණත් නරක් වෙලා . ඒත් එක්කම පිටිපස්සෙන් කවුදෝ ඇවිත් තට්ටුවක් දැම්මේ කොල්ලගේ ලොකුම ලොකු කල්පනාවත් බිඳින ගමන්. ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියන්නේ නිකන් නෙවෙයිනේ . කොල්ලා හොඳටම බය වුණ පාර තිගැස්සිලා ගියා. කලබල හිත තප්පරේට කිව්වේ පිටිපස්ස හැරියන් කියලා . කොල්ලා පිටිපස්ස හැරෙද්දිම හිටියේ සුපුරුදු හිනාවත් එක්ක සුපුරුදු මුහුණ . අඩි හයයි අඟල් දෙකක් විතර උස දේහධාරී පිරිමියා. කළු පාට බැගී ශර්ට් එකකුයි, ඒකටම මැච් කරලා කළු සැහැල්ලු ශෝර්ට් එකකුයි ඇඳලා pillow slippers දෙකකුත් දාගෙන අලුත්ම trend එකකට ඇඳන් ඉන්න ලස්සන කොල්ලෙක්. ඒ මූණේ හිනාව පිරිලා ඉතිරිලා යනවා.

" සර්...ඔයා..."

කොල්ලට පුදුමයි.

" ඔව්, මම තමයි."

ඩිනෝ මිගාන් සමරදිවාකර හෙවත් නපුරු ගැරඬියා කිව්වේ මූණේ සුපුරුදු හිනාවත් රඳවගෙනමයි.

" මේ මොකද සර්? "

" ඇයි? "

" කෝ අද වාහනේ? "

" වාහනේ නෑ. ඒක ගෙදර . මං බයික් එකෙන් ආවේ..."

" අම්මෝ සර්ට බයික් එකෙකුත් තියෙයිද? "

කොල්ලා ඇහුවේ හිනාවෙලා .

" ඔව් ඉතින්. කොල්ලොනේ..."

" හ්ම්...ඉතින් ඇයි මෙහෙම? "

කොල්ලා ඇහුවේ මිගාන්ගේ ඇස් දිහා බලාගෙනම පුදුමෙන් වගේ. කොල්ලගේ වචන එකක් ගාණේ කැඩෙනවා.ඒ කිව්වේ පුංචි විරාමයක්.

" ඇයි මං මෙහෙම අවුල්ද? "

" අනේ නෑ, එහෙම දෙයක් නෙවෙයි. ඒත් ඉතින්..."

" ඒත් ඒත් ගාන්නේ, කියන දෙයක් කියනවකෝ තටමන්නෙ නැතුව? "

අම්මෝ එයාගේ සැර. පුදුම ආඩම්බරකාරකමක් ඒක. එයා ටිකක් සැර වුණාට හිත හොඳයිනේ. හොඳයි කිව්වට එච්චරම නෙවෙයි ටිකක් විතර .

" හරි හරි සර්, කේන්ති ගන්න එපා..."

" කේන්ති යනවනේ ඉතින්..."

කොල්ලා තොල් දෙක හපාගෙන හිනා වුණේ නපුරු ගැරඬියා දිහා බලාගෙන . කොල්ලගේ ඇස් මිගාන්ගේ මූණේ ඉඳන් දෙපා දක්වා තව පාරක් බැලුවා. ඒත් එක්කම ආයෙමත් ඒ ඇස් නපුරු ගැරඬි ඇස් එක්ක පටළවගත්තා.

" මොකෝ ඔහොම බලන්නේ? "

" ලස්සනයි "

කොල්ලා කිව්වා නෙවෙයි කියවුණා .

" කවුද ? "

" මං කිව්වේ සර් , මේ...මේ... සර් ඔහොම ඇන්දම ලස්සනයි කියලා "

" ආහ්...."

මිගාන් බැලුවේ ආඩම්බරෙන් . හරියට නිකන් එයාට වඩා නළුවෙක් නෑ වගේ. බොරු කියන්න ඕනි නෑනේ. කොල්ලට හිතුණෙම නපුරු ගැරඬියා නිකන් විකී කෞශාල් වගේ කියලා .

" ඇයි සර් ඉතින් මෙහෙම ආවේ? "

" ඇයි මං එනවට ආස නැද්ද ? "

එයාගේ උත්තර නම් ඔක්කොම හරහටමයි. ගැරඬිනේ ඉතින්.භූමිතෙල්වලට විතරයි එයාව මට්ටු කරන්න පුළුවන් . හැබැයි ඉතින් ඔය නපුරු ගැරඬින්ව මට්ටු කරන්න පුළුවන් හොඳ භූමිතෙල් කටක් ඉස්සරහා තමා ඔය ඩිනෝ මිගාන් සමරදිවාකර සෙල්ලම් කැටයම් දාන්නේ.

" අනේ එහෙම නෙවෙයි. "

" එහෙනම් ? "

" ඇයි අද මේ විදිහට ඇඳලා, වාහනෙත් නැතුව ? "

" ආ... එහෙම අහන්න එපැයි"

කොල්ලට හිතෙන දේවල් වචන කරන්න ගියොත් මේ ඉස්සරහා හිටගෙන ඉන්න සරල අහිංසක පෙනුමැති මනුස්සයා ආයෙමත් අර නපුරු ගැරඬි ස්වරූපයට හැරෙනවා සත්තයි. ' අනේ මගෙ කට. උඹ දන්නෙම නෑ අහන්නෙ මොකක් ගැනද කියලා . තෝ ගැන යකෝ ඇහුවේ. තෝ මොටද මේ අද නෝර්මල් ඇඳගෙන තොගෙ මකබෑවත් නැතුව තනියෙන් ආවේ කියලා ඇහුවේ...' කොල්ලගේ හිත එහෙම කියවද්දී කොල්ලගේ මූණේ තිබුණේ ලස්සන හිනාවක්.හිතෙන් එකයි කටෙන් එකයි. බෙන්තර ගඟෙන් එහා පැත්තේ හරි අපූරු ජන්ම පුරුදු. රැවටුණු නපුරු ගැරඬියා අහිංසකයගේ හිනාව දිහා බලන් ඉන්නවා. කොහෙද ඉතින් වෙස් මාරු කරන නපුරු ගැරඬියාට හිත් කියවන්න පුළුවන් එකක්‍ යෑ.

" ඔයා දන්නවද , මෙහෙම ආවම සේෆ්ටිනේ. කවුරුත් මාව ඩිනෝ මිගාන් සමරදිවාකර කියලා අඳුනගන්නෙත් නෑ.මං නිකන් සාමාන්‍ය කොල්ලෙක්. මේ..."

අඩියක් දෙකක් පිටිපස්සට ගිහින් කොල්ලට ෆුල් බොඩියම පෙන්නන ගමන් මිගාන් කිව්වා. කොල්ලගේ මූණේ මොනා වුණත් ලස්සන අහිංසක හ්ක්නා රැල්ලක් පිරිලා. කොච්චර හිත අස්සෙන් බැන්නත් මොකද මේ මනුස්සයා දකිද්දී , කියවන අතොරක් නැති විකාර කතා අහන් ඉද්දී හිත මොකක්දෝ මන්දා වෙනමම ලෝකයකට ඇවිද ගෙන යනවා. දැන් දැන් කොල්ලට දැනෙන්න අරන්. ඒ ඇස් බලන් හිටියෙත් මේ නපුරු ගැරඬියා සුපුරුදු විදිහට කුමාරතුංග මුනිදාස මාවතේ අර විසල් නුග ගහ යට ඉඳීවි කියන බලාපොරොත්තුවෙන් කියලා .

" ඉතින් මං සර්ව දන්නවනේ..."

" මොකක්ද ? "

" මං කිව්වේ සර් ඩිනෝ මිගාන් සමරදිවාකර කියලා මං දන්නවනේ..."

" ඒ ඔයානේ, අනිත් මිනිස්සු දන්නෑනේ..."

" ඒත් බය නැද්ද ? "

" මොකටද ? "

ඩිනෝ ඇහුවේ කොල්ලගේ ඇස් දිහා බලාගෙන සැකෙන් වගේ .

" මං...මං සර් ගැන කාට හරි කියයි කියලා..."

ඩිනෝ මිගාන් සමරදිවාකර කෙලින්ම බලන් හිටියේ කොල්ලගේ ඇස් දිහා. ඒ ඇස් අහිංසක පාටයි. ඊටත් වඩා අසරණ පාටයි. මොකක්දෝ කියාගන්න බැරි වේදනාවක් ඒ ඇස්වල හිරවෙලා තියෙන බව මිගාන්ට වැටහුණා. බය බිරාන්ත වෙලා වගේ බලන් ඉන්න සත්සිඳු දිහාවට මිගාන් ළං වුණේ හෙමින් හෙමින්. දැන් දැන් කොල්ලගේ පපුවේ ස්පන්දනය වැඩි වේගෙන යනවා. දැන් නම් පපුව ගැහෙනවා එකසිය ගාණට. තව ටිකකින් නම් හුස්මක් ගන්න බැරි වෙන ගානයි. මිගානුත්, සත්සිඳුත් අතර තිබුණේ දශම ගාණම දුරක්. නපුරු ගැරඬියා කොල්ලගේ ඇස් දිහා බලාගෙනම ඒ මූණ රළු දෝතට මැදි කර ගත්තා. දැන් ඒ ඇස් අර ඇස් එක්ක පැටළිලා.

" ඔයාට මට එහෙම කරන්න පුළුවන්ද?"

නපුරු ගැරඬියා ඇහුවේ එච්චරමයි . කොල්ලගේ එකසිය ගාණට ගැහුණ පපුව මොහොතකට නතර වුණා වගේ වුණා .

" පුළුවන්ද ? "

කොල්ලා හිස වැනුවේ බෑ කියන්න වගේ. ඔව් , මොනා වුණත් ඒ මනුස්සයව කිසි කෙනෙකුට පාවලා දෙන්න තරම් හිතක් අහිංසකයට නෑ. කටකාර වුනාට මොකද එහෙම දෙකයි පනහේ වැඩ සත්සිඳු මකරන්ද ගාව නෑ.

" එච්චරයි ළමයෝ මට ඕනි... "

නොදැනුවත්වම කොල්ලගේ වම් ඇහේ කොණකට කඳුළක් ඇවිත්. ඩිනෝ මිගාන් දකුණු අතේ දබරැඟිල්ලෙන් ඒ කඳුළු බිංදුව පිහදාලා දැම්මා.

" මේ කඳුළු මං හින්දද? "

" දන්නෑ..."

කොල්ලා උත්තර දුන්නේ වෙවුලන කටහඬකින් .

" කියන්නකෝ..."

" මට දුක හිතුණා සර්..."

කොල්ලා කටට ආපු වචන තුන හතර ඔහේ කියලා දැම්මා.

" මට හරි සතුටුයි සත්සිඳු . මං වෙනුවෙන් මේ ලෝකේ අඬලා එකම එක කඳුලක් හෙලන්න හරි කෙනෙක් ඉන්න එක ගැන මට හරි සතුටුයි..."

" අනේ සර්..."

" ෂ්...ඔහොම ඉන්න...දන්නවද , හැමදාමත් මට මහ රෑට හිතෙන්නෙම මහමෙරක් තරම් ආදරේ දෙන්න පුළුවන් කෙනෙක් මටත් හිටියනම් කියලා . ඒත් කරුමෙට එහෙම කෙනෙක් නෑ. මං දන්නවා, මං ගොඩක් ලොකු වැරදි කරන කෙනෙක්. ඒවට සමාව දෙන්න ඔයාට තියා දෙයියන්ටවත් බෑ. ඒත් මං කිව්ව විදිහට මහමෙරක් තරම් ආදරේ දෙන්න පුළුවන් කෙනෙක් මට ලැබුණොත් මං මේ වැරදි හැමදේම නවත්තනවා....සත්තයි...."

මිගාන් අන්තිම ටික කිව්වේ කොල්ලගේ ඔළුවේ අත තියලා දිවුරලා. ඒත් මේ මනුස්සයා මේවා තමන් එක්ක කියන්නේ අහවල් කෙංගෙඩියකටද කියලයි කොල්ලගේ කල්පනාව.ඒත් ඉතින් ග්‍රහවස්තු කැරකෙන චක්‍රාවාටයේ නව ගමන් පථයක් සොයාගෙන යන අලුතින් හඳුනා ගත් ග්‍රහ ලෝකයක් වගේ ක්ෂීරපථයට enter වෙන්නේ මොන අහවල් කාරියකටද කියලා බෙන්තර ගඟෙන් එහා හිවල් මොලේට ඒ මොහෙතෙනම් වැටහුණේ නැති තරම්.

" මාව විශ්වාස කරන්න සත්සිඳු . ඔයා මගේ නින්ද හොරකම් කරලා ඉවරයි..."

එහෙම්මම ගැරඬියා යන්න හැරුණා . රැජින පාර දිගේ ගිහින් එයා කුමාරතුංග මුනිදාස මාවතට වැටිලා නොපෙනී ගියා. කොල්ලා එයා ඇස් මානයෙන්ම නොපෙනී යනකන්ම බලන් හිටියේ සිද්ධ වුණ කිසිම දෙයක් හිතාගන්න බැරුව. ඒත් එක්කම ගැරඬියා ගියා කියලා කියන්න පුළුවන් විදිහට හඬක් ආවේ මහ හඬක් නංවගෙන ආයෙමත් තුම්මුල්ල පැත්තට පියාසර කරපු බයික් හඬකින්.

මීළඟ කොටසට ...

More Chapters