LightReader

Chapter 13 - 13

උදේ පාන්දරම ඔෆිස් එකට යන අතරමඟ ඩිනෝ මිගාන් සමරදිවාකර මුණ ගැහුණු එක අරුමයක් නෙවෙයි . මොකද දැන් දැන් සත්සිඳු බලන්න ඔෆිස් එක කිට්ටුවට ඇවිත් යන එක මිගාන්ට පුරුද්දක් වෙලා. ඒත් ඉතින් මේ සිද්ධ වෙන දේවල් ගැන සත්සිඳුට නම් මාරම පුදුමයි. ඩිනෝ බයික් එකෙන් පිටවෙලා ගියාට පස්සේ කොල්ලා ආයෙමත් ඔෆිස් එක පැත්තට හැරුණේ වෙච්චි කිසිම දෙයක් හිතාගන්න බැරුව.

' මොකක්ද යකෝ ඒ වුණේ? මේක අපිලගෙ රට, අපිලගෙ නීතිය කිව්වලු. මං හින්දා එයාගෙ නින්ද නැතිවෙන්නේ කොහොමද ? පිස්සෙක්ද මන්දා අප්පා. මගෙ ඔළුවත් අවුල් කරනවා උදේ පාන්දරම. මහ මෝඩයෙක්...'

කොල්ලට හිනා යන්නත් එනවා. ඉක්මනට ඔෆිස් එකට ගිහින් කොල්ලගේ කල්පනාව ඩිනෝ මිගාන් සමරදිවාකර ගැනමයි. වෙස් වලා ගෙන වගේ නිරන්තරෙන් උදේට හවසට කොල්ලව බලන්න එන ඩිනෝ මිගාන් සමරදිවාකර ගැන කොල්ලගේ හිතේ තියෙන්නේ පුදුමාකාර පැහැදීමක් . කොල්ලා පෑනකුත් අතේ තියාගෙන හෙට පත්තරේට ඕනි කරන ආර්ටිකල් කිහිපයක් ලෑස්ති කරන ගමන් හිටියා. කකුලකුත් කොර ගගහා ලොක්කා කඩන් පාත් වුණේ එවෙලේ.

" ඒ කොල්ලෝ, මේ අහපන්කෝ..."

ලොක්කා ආවේ හෙණ කලබලෙන්. ඒ හින්දම කොල්ල නැඟිට්ටා නෙවෙයි නැඟිට්ටුණා.

" ඇයි සර්? මොකක්ද වුණේ ? "

" උඹට ආරංචිද අර ඊයේ රෑ වෙලා තියෙන මහා ගිනි කෙළි සංදර්ශනය ගැන ? "

" ඈ...ඒ මොකක්ද සර්? "

" ඇයි යකෝ....අර ශේන් සල්ගාදු වෙඩි තියලා කියලා කියන්නේ, මේ මෙතන බං...තුම්මුල්ල හංදියේ...."

" ආ ඔව් ඔව්...ඒක උදේ රේඩියෝ එකෙත් කිව්ව සර්...ඉතින් ඉතින්..."

" උඹ දන්නවද හොඳම දේ මොකක්ද කියලා ? "

" මොකක්ද සර්? "

" වාඩි වෙයන්කෝ..."

දෙන්නම එච්චර වෙලා කතා කරේ හිටගෙන නිසා ලොක්කයි , කොල්ලයි දෙන්නම හරි බරි ගැහිලා වාඩි වුණා . මේ ජෝඩුව නම් තකට තක.කේලම් ඕපදූප හොයන්නයි , ඒවා ගැන කතා කරන්නයි කිව්වොත් කන්න බොන්න ඕනිත් නෑ.

" කියන්නකෝ සර් මගෙ කුතුහලය වැඩි කරන්නැතුව..."

" ශේන් සල්ගාදු වෙඩි තියාගෙන තියෙන්නේ ඩිනෝ මිගාන් සමරදිවාකර එක්කලු..."

කොල්ලා ලොකු හුස්මක් උඩට ඇද්දා. ඒක හුස්මක්ම නෙවෙයි , නිකන් හීල්ලුවා වගේ.

" හත්තිකේ සිරාවටමද සර්? "

" සිරාවට තමයි යකෝ..."

කොල්ලා එහෙම්මම වැටුණේ ලොකූ කල්පනාවකට.

' යකෝ මූ අදහන්න වටින යකෙක් නොවැ. යකෙක් නෙවෙයි යක්ඛ පුත්‍රයෙක්. අච්චර දෙයක් වෙලා තියෙද්දිද මේ උදේ පාන්දර මාව බලන්න ආවේ. මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ. අනිවා මූ ඒලියන් කෙනෙක් . ඩිනෝ...ඩිනෝ...ඩිනෝ... ඔයා මාව කනවා ඔන්න. බලනවා ඉතින් තමුසේ හින්දා දැන් මට හිත හදාගෙන වැඩක් කරගන්නවත් නෑ දවසම. ආපු දෙන්කෝ හවසට උන්දැ. මං දෙසන්නම්කෝ හොඳවයින්. කිසිම සේෆ්ටි එකක් නැතුව එනවා මෙතන මාව බලන්න . මොනා හරි වුනොත් එහෙම ඔන්න...'

කොච්චර කොහොම බැන්නත් කොල්ලට පුංචිම පුංචි කැක්කුමක් මේ නපුරු ගැරඬියා ගැන තියෙනවා . මොනා වුණත් මේ කොළඹ අහස යට තමන් ගැන ඩිංගක් හරි හොයලා බලන්න ඉන්න මනුස්සයා ඩිනෝ මිගාන් සමරදිවාකර විතරයි කියන්න කොල්ලා දන්නවා. අහම්බෙන් වුණත් ඒ හමුවීම හරි සුන්දරයි. ලෝකෙට මවලා පෙන්වන නපුරු ගතිය ඇත්තෙන්ම එච්චර නෑ. ඕනිම නම් සියට පනහක වගේ ප්‍රතිශතයක් ඇති .

ඇත්තෙන්ම අර ආර්ටිකල් එක නොලියන්න මේ මනුස්සයා කවදාවත්ම කොල්ලව උස්සන්නෙත් නෑ. එහෙම නම් කවදාවත්ම දෙන්නා මුණගැහෙන්නෙත් නෑ. මෙච්චර ළඟින් ආශ්‍රය කරන්න ලැබෙන්නෙත් නෑ. කොල්ලට නම් දැන් ඩිනෝ මිගාන් සමරදිවාකර කියන්නේ පාතාල සම්බන්ධතා තියෙන කෝටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් නෙවෙයි , නිකන්ම නිකන් යාළුවෙක් විතරයි වගේ. ඒක නිකන් යාළුකමකට එහා ගියපු මොකක්දෝ අමුතු බැඳීමක්. ඒ බැඳීමට නමක් දෙන්න නම් සත්සිඳුට තේරෙන්නෙත් නෑ.

සත්සිඳු මුළු දවසෙම ඔෆිස් එකේ හිටියේ වැඩ කරනවට වඩා බනින්න වචන හොය හොයා. දැන් නම් වාග් කෝෂයට කොහේදෝ ඉඳන් අමුතුම වචන ටිකකුත් ඇවිත්. කොහෙන් කොහොම හරි හවස 4 වෙද්දී ප්‍රකෝටිපති ව්‍යාපාරික ඩිනෝ මිගාන් සමරදිවාකර හෙවත් නපුරු ගැරඬියා කුමාරතුංග මුනිදාස මාවතට වෙලා තමන් එනකන් බලන් ඉන්න බව කොල්ලා දන්නවා.

වේලාව සවස 3.55 යි. කොල්ලා හතර වෙනකන්ම ඉන්නෙත් නැතුව විනාඩි පහක් කලින් ඔෆිස් එකෙන් පැන ගත්තා . රැජින පාරට වැටුණ කොල්ලා ඉස්සරහට ඇවිදගෙන යනවා. කුමාරතුංග මුනිදාස මාවතට ඇවිත් දකුණු අත පැත්තට ටිකක් ඉස්සරහට යද්දී හම්බෙන සුපුරුදු නුග ගහ යට කළු පාට ෆෙජරෝ එක සුපුරුදු විදිහටම නවත්තලා තියෙනවා . කොල්ලා නැවතිලා ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ නොදැක්ක ගානට ඉස්සරහට යන්න වුණා . නුග ගහ යටට වෙන්න නතර කරලා තිබුණ ෆෙජරෝ එක හෙමින් සැරේ ඇවිත් සත්සිඳු ගාවින් නතර වුණා . කොල්ලා බලන් හිටියේ පිටිපස්සෙන් වීදුරුව පහත් වේවි කියලා . ඒත් නුපුරුදු විදිහට වීදුරුව පහත් වුණේ ඉස්සරහින්.

" නඟින්න..."

ඒ ඩිනෝ මිගාන් සමරදිවාකර හෙවත් නපුරු ගැරඬියා . හිතුවත් වගේ මෙලෝ ආරක්ෂාවක් නැතුව පණ්ඩිත කමට චණ්ඩියා වගේ තනියම ඇවිත්. කොල්ලා වාහනේට නඟින්නේ නැතුව ටික වෙලාවක් බලන් හිටියා.

" නඟින්න අනේ..."

කොල්ලා වාහනේට නැග්ගා. ඒත් එක්කම ආවේ සේපාලිකා හෝ ගාඩ්නියා සුවඳට හුරු සුවඳක්. ඒ සුවඳ නම් ආත්මීය සුවඳක් වගේ. සත්සිඳු ඉන්න බෝඩිමෙත් රෑට මේ වගේම සුවඳක් එන්නේ සේපාලිකා ගහේ මල් පිපිලා. ලා නිල් පාට ටී ෂර්ට් එකයි, ඩෙනිම් trouser එකයි ඇඳලා ලා දුඹුරු පාටට හුරු බූට් සපත්තු දෙකක් දාලා හිටිය ඩිනෝ මිගාන් සමරදිවාකර පුදුමාකාර කඩවසම් බවක්. කළු පාට කොණ්ඩය උඩට කරලා , කණේ පුංචි කළු පාට කරාබුවක්.

' අනේ මූ නම් විකී කෞශාල්මයි දෙයියනේ...'

කොල්ලගේ හිත කියන්නෙම එහෙම . ඒත් දැන් හිතවත්කම් පාන වෙලාවක් නෙවෙයි.දැන් වාග් කෝෂයට අලුතින් එකතු කර ගත්තු වචන පද්ධතියෙන් වැඩ ගන්න ඕනි වෙලාව. කොල්ලා මූණ දෙක කරගෙන ඉස්සරහා බලාගෙන හිටියේ නෝක්කාඩුවෙන් වගේ.

" මොකෝ මූණ කොරහක් කරන්...ඇයි බොස් බැන්නද? "

කොල්ලා නෑ කියන්න හිස වැනුවා.

" එහෙනම් ?"

" සර්, ඇයි සර් මෙහෙම හැසිරෙන්නේ? "

" කොහොමද ? "

"ඊයේ රෑ ශේන් සල්ගාදු එක්ක මොකක්ද වුණේ ? "

" ආ...ඒකද? ඒක මේ පොඩි වලියක්. දන්නැද්ද ඉතින්. කොල්ලොනේ..."

" පොඩි වලියක් , අර පාතාලයත් එක්ක... දෙයියනේ ඌ පාතාලේ..."

" ඉතින්..."

" අනේ සර්, මෙන්න වැන්දා. ආයෙමත් ඕවට පැටලෙන්න එපා..."

කොල්ලා කිව්වේ ඩිනෝ මිගාන්ට අත් දෙක එකතු කරලා වඳින ගමන්.

" ඇයි? "

ගැරඬියට නම් කිඩිම ගාණක් නෑ. ශේන් සල්ගාදු කියන්නේ ලෝකෙ මිනිස්සුන්ට පාතාල කල්ලි නායකයෙක් වුනාට ඩිනෝ මිගාන්ට නිකන් කැරපොත්තෙක් වගේ කෘමියෙක් ගාණයි.

"සර් එපා කියන්නේ එපා නිසානේ . ශේන් සල්ගාදු කියන්නේ හොඳ මිනිහෙක් නෙවෙයි. මිනීමරුවෙක්. කුඩ්ඩෙක්. ගෑණු දූෂණය කරපු එකෙක්. කොටින්ම කිව්වොත් පාතාලයෙක්. පාතාලයෙක් නෙවෙයි ඕකා පතෝලයෙක්..."

කොල්ලා කිව්ව අන්තිම වචනෙට ඩිනෝට හිනාව පැන්නේ එක පාරටම .

" අම්මෝ අම්මෝ... පතෝලයෙක්... ඒ..ඒක නම් ඇත්ත ඈ...සිරාවටම ඕකා පතෝලයෙක්..."

ඩිනෝ බඩ අල්ලගෙන හිනා වෙනවා.

" හිනා නෙවෙයි සර්. මොනා හරි කළොත් එහෙම ඔන්න..."

ඒත් එක්කම ඩිනෝ මිගාන්ගේ හිනාව නතර වුණා . මොහොතක් කොල්ලගේ ඇස් දිහා බලන් හිටපු මිගාන් එක පාරටම ඇහුවේ අමුතුම ප්‍රශ්නයක් .

" මට මොනා හරි වෙයි කියලා බයද? "

ඒ ප්‍රශ්නෙන් කොල්ලා එහෙම්මම ගොළු වුණා . මිගාන්ගේ ඇස් මඟ හැරලා කොල්ලා බිම බලා ගත්තා . මිගාන් බලන් ඉන්නේ කොල්ලගේ මූණ දිහා. ඒත් සත්සිඳු නම් බිම බලාගෙන .

" ඇයි silent ? "

කොල්ලා හොඳටම බයවෙලා වගේ. ඇස් දෙක බිම බලාගත්ත ගමන්මයි. නොසිතූ විදිහට එක තප්පරෙන් ඩිනෝ මිගාන් කොල්ලගේ මූණ දිහාවට නැඹුරු වුණා . සත්සිඳුගේ හෘද ස්පන්දනය දැන් නම් එන්න එන්නම වැඩි වෙනවා. මොකක්ද වෙන්න යන්නේ කියලා කොල්ලට හිතා ගන්න බෑ.

" මට මොනා හරි වෙයි කියලා බයද? "

ඩිනෝ මිගාන් ආයෙමත් ඇහුවේ කොල්ලගේ මූණට හොඳටම නැඹුරු වෙලා . මිගාන්ගේ හුස්ම උණුසුමට සත්සිඳුගේ ඇස්පියන්වල වැදෙනවා. දෙන්නා අතර තිබුණේ පුංචි පරතරයක් . සත්සිඳුගේ පපුව ගැහෙන්නේ සාමාන්‍ය හෘද ස්පන්දනය ඉක්මවා ගිහින් වගේ.

" කියන්න ඉතින්..."

" මං දන්නෑ..."

කොල්ලා කිව්වේ බිම බලාගෙන .

" ඒක මගේ ඇස් දිහා බලාගෙන කියන්න පුළුවන්ද ? "

" මොකක්ද ? "

ඒ පාර නම් කොල්ලා මිගාන්ගේ ඇස් දිහා බැලුවා. තද කළු ඇස් දෙක හරි ආදරණීය පාටයි. වෙනදා නොදැක්ක මොකක්දෝ පෙනුමක් ඒ ඇස්වල රැඳිලා. ඒ ඇස් දිහා කොල්ලා බලන් හිටියේ වචනයක්වත් නොකියා.

" කියන්න ඉතින් . මට මොනා හරි වෙයි කියලා බයද? "

ඩිනෝ මිගාන් ඇහුවේ ආදරණීය විදිහට .

" ඔව්..."

සත්සිඳු කිව්වේ නෑ , ඉබේම කියවුණා . ඒ ඇස් බලෙන් වගේ උත්තර ගන්නවා.

" ඒ ඇයි? "

" දන්නෑ..."

" හේතුවක් නැද්ද ? "

" මට තේරෙන්නෑ සර්..."

සත්සිඳු බයවෙලා ඉන්නේ. නොදැනුවත්වම සත්සිඳුගේ ඇස් කොණකට කඳුළක් ඇවිත්. කොල්ලට බය වුණාම කඳුළු ගලන්නේ පුංචි කාලේ ඉඳන්මයි.

" ආදරේ හින්දද? "

මිගාන් ඇහුවේ කොල්ලගේ ඇස් කොණට උනපු කඳුළු බිංදුව ඇඟිල්ලකින් පිහදාන ගමන්. සත්සිඳු එක පාරටම තිගැස්සුණා . ඒත් එක්කම කොල්ලා ඇස් ලොකු කරන් මිගාන්ගේ ඇස් දිහා තවත් මොහොතක් බලාගෙන හිටියා . ඒත් කතා කරගන්න තරම් පුළුවන්කමක් සත්සිඳුට තිබ්බෙ නෑ. කතාකරගන්න තියා නපුරු ගැරඬියා ඉස්සරහා කටට වචනයක් එන්නෙවත් නෑ.

" කියන්න , ආදරේ හින්දද? "

" සර්..."

කොල්ලා කිව්වේ එච්චරමයි .

" ෂ්...සද්ද කරන්න එපා..."

මිගාන් කිව්වේ සත්සිඳුගේ තොල් මතින් දබරැඟිල්ල තියලා.

" ඔය ඇස් ඔච්චර අහිංසක ඇයි ළමයෝ? මගේ හිත නවත්තගන්න හරි අමාරුයි. මටත් නොදැනිම ඔයා මගේ නින්ද හොරකම් කරලා. මගේ පපුව දරදඬුයි කියලා හිතන්න එපා. ඔයා සිනිඳු මල් පෙත්තක් ළමයෝ . ලස්සන මල් පෙත්තකට පොඩි වෙන්න නොදී මට මගේ පපුවට තුරුළු කරන් තියාගන්න ඕනි. ඒ මල් පෙත්තත් එක්කම මට හුස්ම ගන්න ඕනි. මහ රෑ තිස්සේ පාළුවෙන් නලියන මගේ පපුවට ඒ මල් පෙත්තක උණුහුම ඕනි. තනිකමින් ඈත් වෙලා ලස්සන ජීවිතයක් ගෙවන්න මට ඒ මල් පෙත්ත ඕනි. මං පරිස්සමට බලාගන්නම්. ඒ මල් පෙත්ත මං ඇස් දෙක වගේ පරිස්සම් කරන්නම්. මුළු ජීවිත කාලෙම පරවෙන්න නොදී බලාගන්නම්..."

ඒ වචන හරි සොඳුරුයි. සත්සිඳු මිගාන්ගේ ඇස් එක්ක පැටළී ගෙනම බලන් හිටියේ ඒ වචනවලට වහ වැටිලා වගේ. ඒත් ඒ වචනවල හරිම තේරුම වැටහෙන්න තප්පර කිහිපයක් ගියා. මිගාන් නොකියා කියන්නේ විසේකාර කතාවක්.

" සර්..."

"ෂ්...අහන් ඉන්න මුලින්ම, කතා කරන්න ඊට පස්සේ..."

ඩිනෝගේ නපුරු ගතිය මේ මොහොතේ නම් ටිකෙන් ටික ඈත් වෙලා යන ගමන්දෝ කොහෙද. ඒත් පුංචි නපුරු , දරදඬු ගතියක් ඒ ඇස්වල තිබුණා . ඊටත් වඩා පුදුමාකාර රෝමාන්තික පෙනුමක් ඒ ඇස් එක්ක යා වෙලා.

" මගේ නින්ද ඒ මල් පෙත්ත හොරකම් කරලා ළමයෝ. අහම්බෙන් වුණත් ඒ මල් පෙත්ත මට හම්බවුණේ ඇයි කියන්න මං දන්නෑ. සමහරවිට ඒක දෛවයේ තීරණයක් වෙන්න ඇති . මගේ පපුව හරි පාළුයි සත්සිඳු . ඒත්.. ඒත් ඒ මල් පෙත්ත හරි ආදරෙන් එක පාරක් මේ පපුවට තුරුළු වුනොත් සදහටම මේ දරදඬු පිරිමි පපුව ආදරෙන් පිරිලා යාවී. ඒ මල් පෙත්ත වෙනින් කවුරුවත් නෙවෙයි, ඔයා..."

සත්සිඳු ඒත් එක්කම ඇස් පියා ගත්තා . ඒත් මිගාන් තවමත් ඒ මූණට නැඹුරු වුණ ගමන්මයි.

" සත්සිඳු , ඇස් ඇරලා එක පාරක් බලන්න "

මිගාන්ගේ කටහඬ ටිකක් බිඳිලා වගේ. ආදරේ හැටි එහෙමයි. මිනිස්සු ආදරේ කරද්දී හරි පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. රළු කළු ගලක් වුණත් ආදරෙන් සිනිඳු මලක් බවට පත් කරන්න පුළුවන් . ඒකයි ආදරේ හැටි. කොච්චර නපුරු වුණත් ආදරේ ඉස්සරහ මිගාන් හරි සංවේදීයි. පුංචි කාලේ ඉඳන්ම සැප පහසුකම් අතින් හැමදේම ලැබුණත් දෙමව්පියන්ගේ ආදරේ හරි හැටි නොලැබුණු නිසා ආදරේ කියන දේ මිගාන්ට බලවත් උවමනාවක් වෙලා තිබුණා . ආදරේ නැතුව මිගාන් ගොඩාක් විඳෙව්වා. මහා ලොකූ ව්‍යාපාර කරගෙන ලෝකෙට පේන්න ආඩම්බරෙන් හිටියට මිගාන් සමරදිවාකර කියන්නේ හදවතින් පාළුව, තනිකම අත් විඳිමින් විඳවන මනුස්සයෙක් .

මිනිස්සු ආදරේ කියන තැනදී හරි සංවේදීයි. කොච්චර කට වාචාලකමට දෙඩෙව්වත් සත්සිඳු කියන්නෙත් මනුස්සයෙක් . හදවතක් තියෙන මනුස්සයෙක් . ඩිනෝ මිගාන් සමරදිවාකර කියන සමහර වචන සත්සිඳුගේ පපුව වේදනාවෙන් පිරෙව්වේ විස හී පහරවල් වගේ. ඒවා හදවත පසාරු කරගෙන යන තරම්. ආදරේ ඉස්සරහ මනුස්සයෙක් ප්‍රතික්ෂේප කරන්න තරම් සත්සිඳුට පුළුවන්කමක් නෑ. කොහෙන්දෝ මුණගැහිලා අහම්බෙන් ජීවිතේට එකතු වුණ ආඩම්බරකාර පිරිමියෙක් ඉස්සරහ සත්සිඳු ඇස් පියන් මොහොතකට හදවතට කන් දුන්නා . හදවත කියන්නෙම වෙනමම කාරණාවක්. ඒ මල් පෙත්ත වෙලා දරදඬු පිරිමි පපුවට තුරුළු වෙන්න කියලා . ඒත් හිතට හරි බයයි. උඩු හිතත් , යටි හිතත් අතර මොහොතක තරඟයක්. ඒ එක්තරා නපුරු ගැරඬියෙක් වෙනුවෙන් .

' සර්, මං කොහොමද සර් ඒ මල් පෙත්ත වෙන්නේ? මට බයයි සර්. ඔයා කරන සමහර බූරු වැඩ නිසා ඔයාව මට නැති වෙයි කියලා මට බයයි සර්. ඒත් ඊටත් වඩා අපේ නොගැළපීම අහසට පොළව වගේ. මේ මං ඇත්තම සත්සිඳු නෙවෙයි. මං මේ ලෝකෙට මවලා පෙන්නන සත්සිඳු . ඇත්තම සත්සිඳු වැල්ලේ හැදිච්ච දුප්පත් , කටකාර කොල්ලෙක් සර්. ඔයා වගේ කෝටිපතියෙක්ට කොහොමද මං වගේ වැල්ලේ හැදිච්චි කොල්ලෙක් පෑහෙන්නේ? මල් පෙත්තක් වුණත් ඔය පපුවට තුරුළු වෙලා නිකන්ම පොඩි වෙලා යන්න වෙයි කියලා මට බයයි. '

හිත කියන්නේ එහෙම .

"ඇස් අරින්නකෝ..."

ඒත් ඒ ඇස් පියාගත්තු ගමන්මයි.

" මට සමාවෙන්න සර්. මං මෙච්චර කල් හැම ඇත්තක්ම හැංගුවා . මං ගාල්ලේ ගමක හැදුණු කොල්ලෙක් නෙවෙයි. මං වැල්ලේ හැදිච්චි කොල්ලෙක්. සර්, සර් වගේ කෝටිපතියෙක්ට මං වගේ කෙනෙක් පෑහෙන්නෑ. සර්, සර්ට ලස්සන අනාගතයක් තියෙනවා . ඒ අනාගතේ මං වගේ කිසිම වැදගත්කමක් නැති කෙනෙක් නිසා විනාශ කරගන්න එපා... මට සර්ගෙන් ඉල්ලන්න තියෙන්නේ එක දෙයයි. ඔය ගෑණු ආශ්‍රය නවත්තන්න සර්. සර්ට ලස්සන , අහිංසක ගෑණු ළමයෙක් හම්බෙයි. එයා සර් එක්ක ලස්සනට ජීවත් වෙයි. පුංචි පැටව් දෙතුන් දෙනෙක් හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න සර්. මේ අසම්මතේ පැටළෙන්න එපා සර්.අපි හරියට අහසයි පොළවයි වගේ. කිසිම ගැළපීමක්වත්, එක්වීමක්වත් නෑ. එකතු වුණත් ඒ ක්ෂිතිජයක් විතරයි . ඒකත් හරියට මිරිඟුවක් වගේ මායාවක්. මේ මායාවෙන් ඈත් වෙලා යන්න සර්..."

සත්සිඳු බිඳුණු කටහඬකින් කිව්වේ ඇස් වහගෙනමයි.

" එතකොට මාව එපාද? "

මිගාන් තවමත් ඒ මූණට නැඹුරු වෙලා.

" එපා... "

ලොකු හුස්මක් අරන් සත්සිඳු මූණටම දමලා ගහන්න වගේ කියලා දැම්මා. ඒත් ඒ ඇස් වැහුණු ගමන්මයි. මිගාන්ට ඒ වචනෙන් දැනුනේ මුළු ජීවිතේම කඩා වැටුණා හා සමාන හැඟීමක් . තප්පරේකට ඇස් වහගෙන එහෙම්මම ආයෙමත් ඇස් ඇරලා තවත් ටිකක් ඒ මූණ දිහාවට ලං වුණා හුස්මක උණුහුම තවත් තදින් දැනෙන්න ඕනි නිසාවෙන්.

" ඒ වචනෙ මගෙ ඇස් දිහා බලන් කියන්න පුළුවන්ද ? "

සත්සිඳු අමාරුවෙන් වුණත් ඇස් ඇරලා මිගාන්ගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස් රතු වෙලා. හරියට ලොවි ගෙඩි වගේ. මෙච්චර ප්‍රබල මනුස්සයෙක් ආදරේ ඉස්සරහා යදින හැටි. තවත් මිගාන් අසරණ වෙන හැටි බලන් ඉන්න පුළුවන්කමක් සත්සිඳුට නෑ. ඒ නිසාම සත්සිඳු උත්සාහ කළේ වාහනෙන් බහින්න.

" යන්න හදන්න එපා, ඔහොම ඉන්න..."

" ඇයි? "

" කියලා යන්න..."

" මොකක්ද සර්? "

" ඇස් දිහා බලන් කියන්න ඕනිද එපාද කියලා "

දත් මිටි කාගෙන කේන්ති ගිහින් රතු වුණු මිගාන්ගේ මූණේ තිබුණේ රුදුරු පෙනුමක් . සත්සිඳු හිටියේ බයවෙලා.

" සර්..."

සත්සිඳුගේ කටහඬ බිඳිලා. ඒ වගේම බය වැඩිකමට වෙව්ලනවා .

" කියනවා.....මාව ඕනිද, එපාද? "

" මං දන්නෑ සර්....."

කොල්ලා කිව්වේ ටිකක් හයියෙන් ඉකි ගහන ගමන්.

" මං මැරෙනවා දකින්න ආසද? "

ඒ හඬ හරි වියරුයි. සත්සිඳු ඇස් ලොකු කරන් බයෙන් වගේ බලන් හිටියා . ඩිනෝ මිගාන්ගේ ඇස්වල රුදුරු බවට සත්සිඳුට ඇත්තෙන්ම චූ යන්න වගේ.

" මං විඳවලා විඳවලා මැරෙනවා දකින්න ඕනිද? ආ...කියපන්, උඹ ආස එහෙමද? "

" අනේ සර්, මට යන්න දෙන්න. මං වඳින්නම්....."

සත්සිඳු අත් දෙක එකතු කරලා මිගාන්ට වැන්දා. මිගාන් ඒ අත් දෙක එහෙම්මම අල්ලගත්තා.

" මගෙන් ඈතට යන්න ඕනිද එතකොට ? ම්...කියපන්. යන්න ඕනිද උඹට? "

" සර්, අනේ සර්...සර් ගොඩක් කේන්ති ගිහින් ඉන්නේ. අනේ අපි පස්සෙ කතා කරමු...ප්ලීස් සර්..."

" බෑ... දැන්මම කියන්න . මාව ඕනිද එපාද? "

ඒ ප්‍රශ්නය හරි අසාධාරණයි. එහෙම කියන්නත් බෑ. එයා එක අතකට සාධාරණයි . ඒ ඉල්ලන්නේ නපුරු ගැරඬියගේ ආදරේනේ. ඒත් ඉතින් කටකාර අහිංසකයා බයවෙලා. බයවෙන්නේ නැද්ද? මෙච්චර නපුරු විදිහට ආදරේ ඉල්ලද්දී.

ගත වුණේ තත්පර දෙකක් නැත්නම් තුනක් විතරයි . මිගාන් එහෙම්මම සත්සිඳුගේ මූණ දෝතටම ගත්තා. එයා කොහොමත් හිටියේ ඒ මූණට නැඹුරු වෙලා හුස්ම පපුව පුරාවටම විසිරිලා යන දුරකින්. ඊටත් වඩා මිගාන්ගේ හුස්ම හරි උණුහුමට සත්සිඳුගේ ඇස් පියන් මත වැදෙන දුරකින්.

තමන්ගේ මූණ නපුරු ගැරඬියා දෝතටම ගනිද්දී සත්සිඳු ආයෙමත් ඇස් පියාගත්තේ මිගාන්ගේ හුස්ම ළඟ ළඟම දැනෙන නිසා. ගතවුණු නිමේෂයෙන් සත්සිඳුගේ දෙතොල් මතට මිගාන්ගේ රළු දෙතොල බර වුණේ හිතුවෙවත් නැති විදිහට . මිගාන් මොහොතක් අවසර නැතිවම සත්සිඳුගේ තොල්වල පැටළිලා රස වින්දා. ආයෙමත් ඒ තොල්වලින් ඈත් වෙලා නළලට හාදුවක් තිබ්බේ ආඩම්බරකාර වචන හතරක් මුමුණන ගමන්.

" මං උඹට ආදරෙයි බං..."

සත්සිඳු එහෙම්මම පහත් වෙලා දණහිස් අස්සෙ මූණ ඔබා ගත්තා. කොල්ලා ඉකිබිඳිමින් හිටියා මිසක් වචනයක් කතා කලේවත් , අඩු තරමින් වාහනෙන් බැහැලා ගියේවත් නෑ. ඒ ප්‍රතිචාරය හරි හැටි තේරුම් ගන්න මිගාන්ට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ හිත කැඩිලද කොහෙද? ඇති තරම් ඉකිබිඳින්න ඇරලා මිගාන් වාහනේ start කරගෙන පන්නිපිටිය පැත්තට යන්න හැරුණා .

මීළඟ කොටසට ...

More Chapters