ඉදිරියෙන් නතර වුණු වාහනේ කහ පාට එළිය ඇස් කඩා ගෙන යන තරම්. ගැරඬියගේ ජීප් එකත් ඊට පිටිපස්සෙන් ආව නින්ජලා පිරිස රැගත් ජීප් එකත් එක විට නතර වෙලා තිබුණා. ගැරඬියා gun එකත් ඉණේ කොණක සඟවගෙන එළියට බහිද්දි එයාගෙ සුවච කීකරු ආරක්ෂක පිරිස නිකන් බලන් උන්නෙ නම් නෑ. අතේ තිබුණු ආයුධත් අරගෙන නින්ජලා පිරිස කොල්ලගේ පිටිපස්සෙන් වැටුණා.
කළු ඇඳගත්තු ආරක්ෂක පිරිස එක්ක එද්දි නම් එයා හරියට රජෙක් වගේ. ඊටත් එහා ගිහින් තේජස පිරුණු කේසර සිංහයෙක් වගේ.
නතර කරලා තිබුණු හුරු පුරුදු සුපුරුදු වාහනේ තවමත් මහ විශාල කහ පාට බල්බ් එළියක් දල්වාගෙන බලන් ඉන්නවා. මිගාන් වාහනේ ළඟට නොගිහින් මගකින් නතර වුණේ බයකට නෙවෙයි , ආපු එකාගේ දෙපා මුලට නොගිහින් ඌට ඕනි නම් මං ගාවට වරෙන් කියන කාරණාව අඟවන්න. එයා හිතපු දේ තේරුම් අරන් වගේ කහ පාට එළියක් විහිදුවන සුපුරුදු වාහනේ ඉස්සරහා පිටිපස්සෙ හතර අතින්ම දොරවල් විවර වුණේ එච්චරටම පැහැදිලි නැති සද්දන්ත පිරිමි රූප හතරක් එළියට බහින ගමන්මයි.
ඒත් එක්කම ඒ වාහනෙන් බැහැපු පිරිමි හතර දෙනා ගැරඬියා ඇතුළු නින්ජලා පිරිස උන්නු තැනට එන්න වුණා. ගැරඬියා නම් කෙනා කවුද කියන්න දන්නවා. ඒත් එයා ඔහේ බලන් උන්නේ කෙනා කවුරු වුණත් දෙපා මුලට නොගිහින් අදාළ පුද්ගලයට ළඟටම එන්න ඉඩ දීලා.
" මිස්ටර් ඩිනෝ මිගාන් සමරදිවාකර... "
ඒ වාහනෙන් ආපු මනුස්සයා එයාට නම කියලම කතා කළා. මිගාන් කට කොණකින් වගේ සමච්චල් හිනාවක් දැම්මේ අදාළ පුද්ගලයාම තමයි කියලා හරියටම තහවුරු කර ගත්තට පස්සේ.
" ඉතින් ශේන් සල්ගාදු.. මොකෝ හදිස්සියෙන්ම මාව මුණගැහෙන්න හිතුවේ? "
එච්චර වෙලා නිහඬව උන්නු මිගාන් ඇහුවේ සමච්චල් හිනාවක් එක්කමයි.
" ශා ශා... මාර ලස්සනට කතා කරනවනේ දැන්... චඃ... ඔන්න ඔහොම කතා කරන්නකෝ දිගටම.. එතකොට.. ඔයත් සතුටින් මාත් සතුටින්.... "
ශේන් කිව්වෙත් ටිකක් සමච්චල් විදිහට .
" ශේන්..."
" ඔව් මිස්ටර් ඩිනෝ... කියන්න...."
ශේන් තවත් අඩියක් ඉස්සරහට ආවේ එහෙම කියාගෙනමයි.
" මට උඹත් එක්ක කතා කරන්න දෙයක් නෑ බං..."
මිගාන් කිව්වේ හිත අස්සෙ එතුවක් වෙලා හංගගෙන උන්නු පරණ කේන්තියට ආයෙමත් මතුවෙන්න ඉඩක් නොදී.
" ඒ වුණාට මට තියෙනවනේ... "
ශේන් ගත් කටටම එහෙම කියද්දි මිගාන් ඇස් දෙක හීනි කරන් බලන් උන්නේ හිතේ යට ගිය කේන්තිය අළු යට සැඟවුණු ගිනි පුපුරු වගේ ආයෙමත් දැල්වෙන්න ඔන්න මෙන්න තියෙද්දී. ශේන් කියන වචනත් එක්ක නම් කොල්ලගේ හිතේ සැඟවිලා තියෙන අර පරණ කේන්තිය ඇවිස්සෙන්නමයි දඟලන්නේ. ඒත් එක්කම වගේ මිගාන් ලොකු හුස්මක් අරන් පිට කළේ ' මේ යකාගෙන් නම් සැනසීමක් නෑ... ' යි කියලා හිතාගෙනමයි.
" හරි... මං උඹට විනාඩි පහක් දෙන්නම්.. විනාඩි පහක්... කියන්න තියෙන දෙයක් ඉක්මනට කියපන්..... "
මිගාන් එහෙම්මම කියද්දි ශේන් ආයෙමත් කට කොණකින් හිනා වෙලා මිගාන් දිහා බැලුවේ ඇස් යටින් රවාගෙන වගේ.
"ඕහ්.... විනාඩි පහක්.. උඹට මේ වැදගත් කතාව වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් විනාඩි පහක් විතරද? ම්....."
ශේන්ට ඕනි වෙලා තිබුණේ කොහොමත් ඩිනෝ මිගාන්ගේ කේන්තිය අවුස්සන්නමයි. එයාට ඒක අමුතුවෙන් කරන්න දේකුත් නෑ.මොකද ගැරඬියා උන්නෙම මහ ලොකූ කේන්තියකින්. ගිනි පුළිඟුවලට පිම්බම ගිනි දැල්වෙනවා වගේ එයාගේ කේන්තිය ඇවිස්සෙන්නත් තව ඕනි වුණේ වචනයක් නැත්නම් දෙකක් විතරමයි.
" ශේන්..... කියන්න තියෙන දෙයක් ඉක්මනට කියපන්.. මට මෙතන කාලා විනාස කරන්න තරම් කාලයක් නෑ... "
" ඕ ඕ ඕ..... මේක වැදගත් කතාබහක් මිස්ටර් ඩිනෝ... ඉතින් ඔහොම කතා කරන්න එපා... "
ශේන් කිව්වේ අර සමච්චල් හිනාව මුහු කර ගත්තු බැල්මත් ඉස්සර කරගෙනමයි.
" ශේන්.. මෙන්න මේක මතක තියාගනින්.. මං මේ තරම්වත් ඉවසන්නේ උඹත් නිකරුණේ වලි දාගන්න ඕනි නැති හින්දා... ඒත් උඹට ඕනි එහෙම නම් මාත් එහෙමයි කියලා උඹ අමතක කරන්නත් එපා....."
මිගාන් එයාගෙ දකුණු අතේ දබරැඟිල්ල දික් කරලා කිව්වේ තර්ජනාත්මක ස්වරූපයෙන් .
" ඔය ආවේ ගානට... ඔන්න ඔහොම එන්නකෝ.. ඔයා කෙළින්ම ඔහොම ආව නම් මං මෙච්චර ලතැවෙන්නේ නෑනේ... ම්... "
සුපුරුදු සමච්චල් බැල්මෙන්ම ශේන් කිව්වේ මිගාන්ගේ ඇස් දිහා සෘජුවම බලාගෙන. මිගාන් බලන් හිටියෙත් ශේන්ගේ ඇස් දිහා. දෙන්නා දෙන්නත් එක්ක ඉන්නේ මොන තරම් වෛරයකින්ද කියන කාරණය ඒ ඇස් දිහා බලන් ඉඳපු ඕනි කෙනෙකුට කියන්න පුළුවන්..
කෝපයෙන් , වෛරයෙන් දිලිසෙන මිගාන්ගේ ඇස් සෘජුවම යොමු වෙලා තිබුණේ ශේන්ගේ ඇස් දිහාවට. ශේන් දිහා බලාගෙන අත් දෙක මිට මොළවලා තද කරද්දී ශක්තිමත් අත් බාහුවල නහර පවා ඉලිප්පෙන්න වුණා. කෝපයෙන් දිලිසෙන මිගාන්ගේ ඇස් දෙකේ තිබුණු තියුණු බැල්මට ශේන්ගේ හිත ටිකක් බියෙන් ගැස්සුණා වුණත් ඒ සුළු පුහු බිය සඟවාගෙන එයත් අත් දෙක මිට මොළවගෙන තද කර ගත්තේ රාම - රාවණා යුද්ධයටත් වඩා ලොකූ ද්වන්ද සටනකට මුල පුරන්න ඉඩ හසර සොයමින්..
" මං බල්ලෝ මරන්නෙ නෑ ශේන්... මං එහෙම බල්ලෝ මරලා අත් කිලිටි කරගන්න මිනිහෙක් නෙවෙයි... "
මිගාන් දත් මිටි කාගෙන අත් මිට මොළවගෙන කිව්වේ ටිකක් විතර හඬ උස් කරලා.
" මාත් ගැරඬි මරන්නෑ යකෝ... ගැරඬි මරලා පව් පුරෝගන්න ජාතියෙ මිනිහෙක් නෙවෙයි බල්ලො මාත්..... "
ශේන් කෑ ගැහුවේ මිගාන්ටත් වඩා සද්දෙන්. දැන හෝ නොදැන ශේන් කිව්වෙ නම් ගැරඬියා කියලා ඉතින්. මේ වගේ මොහොතක අර අහිංසකයි කියලා හිතන් ඉන්න කෙනා උන්න නම් ඉතින් වලි පැත්තකින් තියලා බඩ අල්ලන් හිනා වෙනවා සියයට ලක්ෂ කෝටි වාරයක් විශ්වාසයි.
" අද උඹ ඉවරයි ශේන්....."
එහෙම්මම මිගාන්ගේ රතු කට්ට පැන්න පාර එයා කළේ පැනපු ගමන් ශේන්ගේ බඩ හරහා පා පහරක් එල්ල කරපු එක.
" ආ........."
හයේ හතරේ පොරක් වුණාට මොකද මිගාන්ගේ ජිම් බොඩියෙ කකුලකින් බර පාරක් කාපු ශේන් එහෙම්මම විසි වෙලා වගේ ගිහින් ඇද වැටුණත් හරි එයත් එක්කම ආපු අනිත් ආරක්ෂකයෝ තුන් දෙනා ආවේ මිගාන්ට පහර දෙන්න. ඒත් මිගාන් එක්ක එයාලට හැරෙන්න තියා හිතන්නවත් බැරි වුණේ ඒ මොහොතෙදි කොල්ලගේ ගතේ ශක්තියටත් වඩා හිතේ ශක්තිය වැඩි වෙලා තිබුණු හින්දා..
ඒත් එක්කම වගේ කලබල වුණු මිගාන්ගේ නින්ජලා පිරිස ශේන් එක්ක ආව කොල්ලො තුන් දෙනාට ඇටි හැලෙන්න පහර දෙන්න වුණේ කෙළින් කටින් හිටගන්න බැරි වෙන්න.
බිම වැටිලා අමාරුවෙන් වගේ ඉන්න ශේන් ගාවට ගිහින් එයාගේ ඇඟ උඩට නැග්ග මිගාන් ශේන්ගේ කොලර් එකෙන් අල්ල ගෙන කම්මුල හරහා වැරෙන් පහරවල් දෙකක් එල්ල කළේ දත් මිටි කාගෙනමයි.
" මං තොට කිව්වා මට මගෙ පාඩුවේ ඉන්න දීපන් කියලා... තෝ.. තෝ.. තෝ අහන්නෑ බල්ලෝ... තොට කොච්චර කිව්වත් තෝ අහන්නෑ... හොඳට මතක තියාගනින් වේස බල්ලා... ආයෙත් තෝ මට වද දීගෙන ආවොත් එහෙම මං තොගෙ කෑලිවත් ඉතුරු කරන්නෑ.....මං තෝව මරනවා යකෝ....."
මිගාන් දත් මිටි කාගෙන ශේන්ගේ කොලර් එකෙන් තද කරලා අල්ලගෙන අන්තිම වචන ටික කිව්වේ මහ සද්දෙන් ගිගුම් දෙන ගමන්. ඒත් එක්කම වගේ ඉණේ තිබුණු gun එක ඇදලා අරන් බිම වැටිලා උන්නු ශේන්ගේ කට ඇතුළට එබුවාම ශේන්ගේ ඇස්වල තිබුණු බය හොඳටම පේන්න වුණා. වෛරයෙන් දිලිසෙන ඇස් ගිනි පුපුරු වගේ. Gun එක ආයෙමත් ඉණේ කොණක සඟවගන්න ඉස්සර එයා ශේන්ගේ ඇඟ මතින් නැගිටලා අහසට වෙඩි දෙකක් තියද්දි ශේන් ඇස් දෙක පියාගත්තේ නම් මර බයෙන්.
" යමං....."
ශේන්ටත් ඇහෙන්නම එයා එයාගෙ නින්ජලා පිරිසට අණ කරලා ඉස්සර වුණේ gun එක ඉණේ සඟවගන්න ගමන්. ශේන් සල්ගාදු කෙළින් කටින් හිටගන්න බැරුව මහ පාරේ වැටිලා ඉද්දි මිගාන් ඇතුළු නින්ජලා පිරිස ආපහු ජීප් දෙක දිහාවට යන්න වුණා.
" බලාගෙන ඉඳපන් කැරියා . මං උඹේ හැමදේම උදුර ගන්නවා පකෝ.... "
අමාරුවෙන් වුණත් ශේන් කෑ ගහලා කියද්දී මිගාන් කට කොණකින් සමච්චල් හිනාවක් දාලා ආපස්සට නොහැරිම යන්න වුණා.
කොච්චර ගුටි කෑවත් ශේන්ගේ කට නම් අඩුවක් නැත්තේ හරියට බලු වලිගේ කොච්චර උණු පුරුකේ දැම්මත් ඇද අරින්න බෑ වගේ..
වැටිච්ච මිනිහට ඕනි දෙයක් කරගන්න ඇරලා ගැරඬියා ජීප් එකට නැඟලා ජේකබ් එක්කම පිටත් වෙද්දි එයාගෙ පිටිපස්සෙන් එයාගෙ අනික් නින්ජලා පිරිසත් ජීප් එකෙන් ආවා. ශේන් සල්ගාදු නම් තවමත් වැටුණු තැනමයි. එයාටත් වඩා ගුටි කාල උන්නු එයාගෙ ආරක්ෂකයෝ ටික තැනින් තැන වැටිලා උන්නේ බීලා මත් වෙලා වගේ.
කළුවර අහස දිහා බලාගෙන එද්දි මිගාන්ගේ හිත ටිකෙන් ටික නිවෙන්න වුණේ ඒ අඳුරු රෑ සීතලත් එක්කමයි. වීදුරුවෙන් ඉවත බලන් යන එයා පාර දෙපැත්තේ තියෙන building , ගෙවල් , ගස්කොළන් දිහා ඔහේ බලාගෙන ගියා.
ජීවිතයේ නිදහස කියන දේ උපරිමයෙන් භුක්ති විඳින්න තියෙන කාලයෙත් සීමා කරගත්තු රාමුවකට කොටු වෙලා එයා විඳවන ජීවිතේ ගැන ඒ මොහොතෙදි දැනෙන්න වුණේ කලකිරීමක්. ඒත් අර අහිංසකයා නම් පුංචියට ජීවත් වුණත් හරි අපූරුවට ජීවිතය විඳින හැටි එයාට මතකයට ආවේ ඒ මොහොතේ.
" සත්සිඳු හෙටවත් එයිද දන්නෑ නේද බං... ? "
මිගාන් ඇහුවේ වීදුරුවෙන් පිටත බලාගෙනමයි. ජේකබ් ඒත් එක්කම ඇස් දෙක ලොකු කරන් කොල්ලා දිහා බැලුවේ පුදුමයෙන් වගේ. ජේකබ්ට පුදුම හිතෙන කාරණය වෙන මොකුත් නෙවෙයි, මෙච්චර වලි දෙක තුනකට පැටළිලා හිතත් අවුල් කරන් යක්ෂාරූඨ වෙලා උන්නු එයා කොහෙවත් නැති කොල්ලෙක් ගැන අහපු ප්‍රශ්නය.. ජේකබ් වචනයක් හෝ නොකිව්වේ කටට තියා හිතටවත් ඒ මොහොතෙදි කියන්න දෙයක් නොආපු හින්දා. ජේකබ්ගෙන් උත්තරයක් නැති තැන එතුවක් වෙලා හිස හරවගෙන වීදුරුවෙන් එළිය බලන් උන්නු කොල්ලා ඉස්සරහා බලාගෙන ආයෙමත් කතාවට වැටුණා.
" බලපන් ජේකබ්....."
ඒත් එක්කම මිගාන් ලොකු හුස්මක් ගත්තා.
" බලපන් අපි මොන ජීවිතයක්ද ගෙවන්නෙ කියලා.. මහා මන්දිර හදාගෙන එක එකා එක්ක පැටළි පැටළී අපි ගෙවන්නෙ මහ කරුම ජීවිත බං... මට නම් ඇත්තෙන්ම එක වෙලාවකට මේ ජීවිතෙත් එක්ක එපා වෙනවා බං.... "
එයා කිව්වේ ලොකුම ලොකු දුකක්, වේදනාවක්, කලකිරීමක් එක්ක බව ජේකබ් තේරුම් ගත්තේ එයාගෙ බිඳිලා වගේ තිබුණු කටහඬින්.
" අනේ ඇයි සර් එහෙම කියන්නේ? "
ජේකබ් drive කරන ගමන්ම කොල්ලා දිහා ඇස් අගින් වගේ බලන ගමන් ඇහුවා.
" බලපන් අර කොල්ලා.. සත්සිඳු... ඒ ළමයා කොච්චර නිදහසේ ජීවත් වෙනවද බලපන්.. හිතුණු තැනක යන්න එන්න.. ඕනි වෙලාවක එළියට බහින්න.. කැමති තැනකින් කන්න බොන්න... මං කියන්නේ ඒ ළමයා ගෙවන සරල ජීවිතේ ගැන බං...ඇයි.. ඇයි ජේකබ් මට එහෙම බැරි? ඇයි මට බැරි.. මටත් ඕනි එහෙම ජීවිතයක් බං... නිකන්ම මන්දිරේකට කොටු වෙලා නොඉඳ සත්සිඳු වගේ ජීවිතේ ලස්සනට විඳින්නයි මට ඕනි බං... "
මිගාන් උන්නෙ ලොකු කලකිරීමකින්. එයාගෙ තියුණු කටහඬත් බිඳිලා වගේ. කළු හීනි ඇස් දෙකේ රැඳිලා තිබුණේ මෙතෙකැයි කියලා කියා නිමා කරන්න බැරි තරම් වේදනාවක්..
ඇත්තෙන්ම ජීවිතේ කියන්නෙ විඳිය යුතු දෙයක් මිස විඳවිය යුතු දෙයක් නෙවෙයි. ඒත් මහා මන්දිරයකට කොටු වෙලා එයා ගෙවන ජීවිතේ ගැන නම් එයාගෙ හිතේ කිසිම සන්තුෂ්ටියක් නැති ගානයි. ඒ නිදහසක් නැති ජීවිතේ ගැන එයාගෙ හිතේ තිබුණු ඒ කලකිරුණු සිතුවිල්ල ඒ මොහොතෙදි ඉස්මතු වුණේ හරි පුදුමාකාර විදිහට . සත්සිඳු ගෙවන ඒ සරල ජීවිතේට ආස වුණු මිගාන්ට ඒ ජීවිතය ගෙවන්න, විඳින්න ඕනි වුණෙත් තනියම නම් නෙවෙයි. සත්සිඳුත් එක්කමයි..
එයත් එක්ක බයික් එකේ ඈත ගමකට රවුමක් යන්න.. පාර අයිනේ පෙට්ටි කඩේකින් කිරි තේ එකක් හරි කිරි කෝපි එකක් හරි බිබී කතා කරන්න.. ගස් හෙවණක එයත් එක්ක තුරුළු වෙලා ඉන්න.. නිමක් නොපෙනෙන ඈත ක්ෂිතිජය දිහා බලන් වරු ගනන් ගෙවන්න.. ඒ මුහුදු වෙරළෙම අත් අල්ලන් ඇවිදින්න.. පුංචි පුංචි හාදු ගොඩකින් ඒ දෙකොපුල් තෙත් කරන්න.. ලුණු මිරිස් තවරපු රොටියක්, ආප්පයක් කකා පොඩි කඩේකින් දෙන්නත් එක්ක ප්ලේන්ටි එකක් බොන්න..
ඒ පිරිමි හිතේ ඉපදුණු ආසාවල්වලට නම් සීමාවක් නෑ. දහසකුත් සිතුවිලි හිතේ හිර කරන් විඳවනවට වඩා ඒ සිතුවිලි වචනවලට පෙරළන එක මොන තරම් නම් නිදහස්ද කියලා මිගාන් තේරුම් ගත්තේ ඒ මොහොතේ.
" අනේ... ඔන්න ඔය සින්දුවක්වත් දාපන් බං ඩිංගක්... හිත නිවෙන්න..."
මිගාන් කිව්වේ බිඳිලා ගිහින් තිබුණු හිත හදාගන්න ඕනි හින්දමයි . ඒත් ඉතින් ඒ හිත හදන්න පුළුවන් සනසවන්න පුළුවන් වෙන්නෙත් අර අහිංසක හිතට විතරක්ම බව එයත් දන්නවා.
මිගාන් කිව්වට පස්සෙ ජේකබ් play list එකේ තිබුණු සින්දුවක් play කරන්න ගත්තා. ඒත් ඉතින් එයාගේ මනස නම් හරි ව්‍යාකූලයි. ඒ හිත තිබුණේ එක තැනක නතර වෙලා නෙවෙයි , ගොඩ තැනක විසිරිලා.. හරියට කැඩුණු වීදුරුවක් වගේ.. කැඩිලා බිඳිලා තිබුණු හිතක් සින්දුවක පද වැලකට සනසවන්න පුළුවන් බව නම් එයා දන්නේ අද ඊයෙක නෙවෙයි. කාලාන්තරයක ඉඳන්...
ජේකබ් play වෙන්න දාලා තියෙන සින්දුවේ පදවැල ගැන හිතත් එක්ක තර්ක කරමින් යන එයා වීදුරුවෙන් අහක බලන් ගියේ ඒ පරිසරයත් එක්ක මුහු වෙලා ඒ පද ටික රස විඳින්න ආසාවෙන්.
ඒ වෙද්දි රෑ දොළහ පහු වෙලා එකට කිට්ටුද, එක පහු වෙලා දෙකට කිට්ටුද කියලා කියන්න බැරි තරම්. ඒත් අහිංසකයගේ ඇස් ළඟ පාතක නින්දක් කියලා කෙනෙක් නෑ. නිදි දෙව්දුව පෑල දොරින් පලා ගිහින් තිබුණේ යන යකා කොරහත් බිඳගෙන යන ගානට.
කොහොම වුණත් ඇස් මානෙකටවත් නොඑන නින්ද ගැන නම් එයා පසු තැවුණේ නැත්තේ නිදි වර්ජිත රාත්‍රියේ කල්පනා කරන්න, හිතන්න දේවල් දහසක් දස දහසක් නෙවෙයි ලක්ෂ කෝටි ගාණක් විතර තියෙන නිසා. කිරි අම්මා නැති එකේ දුක පන්හිඳ ගාව උන්නු මොහොතෙදි අමතක වුනාට මොකද තනි වුණු ඇසිල්ලෙම ආයෙමත් ඒ දුක සත්සිඳුගේ හිත ආක්‍රමණය කරන්න ගත්තා. වැලපුණේ නැතත් යාන්තමට ඇස් දෙකට ආව කඳුළු බිංදු දෙකක් ඇස් අග්ගිස්සෙන් රූරාගෙන ඇඳ රෙද්දට අවශෝෂණය කර ගත්තා.
බැලූ බැල්මට සරලයි , සුගමයි වගේ පෙණුනට එයා උන්නේ කොච්චර හිත් වේදනාවක් එක්කද කියලා දන්නෙ එයාම විතරයි. ජීවිතය ජීවත් කරවන සොඳුරු අත්දැකීම් මැද්දට අමතක නොවන විදිහට එකතු වෙන කටුක අත්දැකීම් හරියට පතොක් මල් වගේ . කිරි අම්මා නිවන් ගිහින් වුණත් එයා කියපු කතා තාමත් සත්සිඳුගේ මතකයේ රැව් දෙනවා. ඒ මොහොතෙදී එයාගේ හිතට ආවෙත් කිරි අම්මා කිව්ව කතාවක්..
" සුදු චූටි, උඹ දන්නවද? අපි ජීවත් වෙද්දි පුතේ එක එක ජාතියේ කරදර එනවා.. හැබැයි ඒ කරදර හැම එකකටම මූණ දෙන්ට වෙන්නෙත් අපිටමයි.. උඹ දන්නවද දන්නෑ මහින්ද හාමුදුරුවෝ කවි පොතක ලියලා තියෙනවා මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක වුණත් මිතුරු වෙන්ටය කියලා ඕං.... ඉතින් සුදු චූටි බලාපන් උන්නාන්න්සෙ හිතන පතන විදිහ.. උඹත් හිතන්න ඕනි කොහොමද එතකොට? ආ... ආන්න ඒ විදිහට... තේරුණැයි..... "
කිරි අම්මා නම් වෙනමම හිතක් තිබුණු හරි සුන්දර ආත්මයක්.. එයාගේ තැන ගන්න කාටවත් බැරි එයා හිතන පතන දේවල් හරි වෙනස් නිසා. රට කරලකුයි, කරාබු නැට්ටකුයි එක්ක බුලත් කොළයක් හපන ගමන් එදා කිරි අම්මා කිව්ව කතාව බොරුවක් නෙවෙයිනේ..
සත්සිඳු එහෙම්මම ඇස් පියා ගත්තා. දූවිල්ලක් නොවුණත් මිගාන් එයාගෙ ජීවිතේට ළං වුණේ නරකකින්. ඒත් එයා අද මොකක්දෝ හේතුවකට අමතක කරන්නම බැරි මතකයක් වෙලා. සමහර වෙලාවට හිතේ ඉන්න පන්හිඳ අයියටත් වඩා එයාගෙ හිතේ සමහර තැන් උදුරගන්න මායාකාරයෙක් වෙලා..
ජීප් එක ගමන් කරන්නේ කොයි හරියකද කියලවත් නොදන්න ගානට මිගාන් උන්නේ අර පදවැල් එක්ක සමවැදිලා. ඒක හරියට භාවනාවකටත් එහා ගිය වෙනස් විදිහක සමවැදීමක්..
ජේකබ් නම් ඔහේ ජීප් එක drive කරනවා. ඒත් සමහර තැන්වල මූණේ හිනාවක් පුරවගෙන, සමහර තැන්වල මූණ අඳුරු කරගෙන ඒ ගී පදවලට සවන් දෙන ගමන් එයා වටපිට බලන් ගියේ එයා විතරක් නෙවෙයි අර අහිංසකයවත් එයාගෙ මනෝ ලෝකයේ නතර කරගෙනමයි.
Slow vibe එකේ play වෙන ගීත අතරෙන් ඊළඟට ආවේ එයාගේ හිත හරි හරියට බර කරපු පද පෙළක්. ඒකෙන් එයාගෙ හිත රිදුණද, හැදුණද කියලා නම් එයාටත් තේරුමක් නෑ.
ඒකෙන් එයාගේ හිත හරියටම උදුරා ගත්ත පද දෙකක් තිබුණා.
ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා...
ඉවසාන ඉන්න බෑ උහුල ගන්න මියදීලා යන්න ඕනා...
එයා ලොකු හුස්මක් ගත්තේ ඒ සින්දුව play වෙන අතරේදීමයි.
" ජේකබ්..."
" සර්..."
එයා උන්නේ කිසිම හැඟීම් ප්‍රකාශනයකින් තොරව වුණත් ඒ පද එක්ක කොහේදෝ නතර වෙලා , අතරමං වෙලා.
" දැන් මටත් කියන්න තියෙන්නේ මොකක්ද දන්නවද? "
" මොකක්ද සර් ? "
ජේකබ් ඇහුවේ පුදුමයෙන් වගේ. ඒත් එක්කම එයා යාන්තමට මිමිණුවේ මෙහෙම පද දෙකක්..
"ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා...
ඉවසාන ඉන්න බෑ උහුල ගන්න මියදීලා යන්න ඕනා..."
මීළඟ කොටසට ...