LightReader

Chapter 35 - 35

හිස කේ මත සිනිඳුවට වගේ දැවටෙන වතුර බිංදු එයා නතර කළේ නෑ. ඒ හිරි පොද වැස්ස හරි ලස්සනයි. වැස්ස හරියට මායාවක්මයි. වලාකුළු අතර රැඳිලා අහසින් පොළවට වැටෙන හරි අපූරූ මායාකාරි දෙයක්.. වැටෙන හැම වැහි බිඳුවක්ම වගේ හිසටත්, ගතටත් අරන් ආවේ සීතලක්. ඒ සීතලට ගුලි වෙන්න වටින්නෙම බ්ලැන්කට්ටුවක් වගේ පපුවක්. ඒත් එහෙමත් පපු තියෙනවද?

වැසි පොදත් එක්ක තෙමී ගෙනම රැජින පාර දිගේ ඉස්සරහට ඇදෙන එයාට නම් වැස්ස ගානක්වත් නැති තරම්. හිරිපොදයක් නිසා නුග ගස් හෙවණ යට නම් ඒ හැටි තෙමෙන්නේ නෑ. බයික් එකත් අයිනකට කරලා ගැරඬියා එහෙම්මම නුග ගස් පාමුලට වුණේ වැස්සෙන් බේරිලා ඉන්න. ඈතින් එන ඒ රූපය.. ඔව්, රැජින පාර දිගේ ඇවිත් කුමාරතුංග මුනිදාස මාවතට වැටුණු ඒ රූපය.. එයාට නම් වැස්ස ගානක්වත් නැති තරම්. හිරිපොදට ඔහේ තෙමී තෙමී එන කොල්ලා දිහා ගැරඬියා බලන් උන්නේ පුදුමයෙන් වගේ.

' යකෝ... මේ යස්ස පැටියට පිස්සු හැදීගෙන එනවද... ? '

එයා හිතුවේ එහෙම. පිස්සු.. ආයේ ඉතින් ඒ ගැන නම් කවර කතාද. එයා ඇවිල්ලා උපන් ගෙයි මන්ද මානසිකත්වයෙන් පෙලෙන හැකර ජීවියෙක්. එයා කුමාරතුංග මුනිදාස මාවතට ඇවිල්ලා ඉස්සරහට එන ගමන් සුපුරුදු නුග ගහ දිහා බැලුවේ පුරුද්දට වගේ. බලාපොරොත්තු වෙච්චි රූපය නුග ගහ යටට වෙලා හිරිපොදට අහු වෙලා ඉද්දී දැනුනු සතුට නම් එයාට කියලා නිම කරන්න තේරෙන්නෙ නෑ. හදවතෙන් ඇති වුණු ඒ සතුට පිටමං කළේ මූණේ ලස්සනම ලස්සන හිනාවකින්. ඒ ඇස් අර ඇස් එක්ක පැටළිලා උන්නට මොකද හිරිපොද වැස්සත් එක්ක නම් දෙන්නගෙන් එක ජීවියෙක්ටවත් හරියට දෙන්නව පෙණුනේ නෑ. අණ්වීක්ෂයකින් කරන ක්ෂුද්‍ර ජීවී පරීක්ෂණයකදී අවසන් ප්‍රතිඵලයට ළං වෙන්න ඉස්සර අදාළ නියැදිය බොඳ වෙලා පේන්න වගේම දෙන්නට දෙන්නව පෙණුනේ හොඳටෝම බොඳ වෙලා ගිහින්. අහිංසකයා වැස්සේ ඇවිත් හිනා වෙනවද , අඬනවද කියලවත් ගැරඬි උත්තමයට හරියට පෙනුනේ නෑ.

කුඩයක් ළඟ තියාගෙන උන්නත් මොකද ගැරඬියවත් කුඩය ඉහළුවේ නෑ. වැස්සෙ තිබුණු මොකක්දෝ අමුතු ලයාන්විතභාවයත් එක්ක ගැරඬියගේ හිතත් , ගතත් දෙකම එක්කාසු වෙලයි තිබුණේ. එයත් ඔහේ බලන් උන්නේ ඒ වැස්ස විඳින ගමන්..

මිගාන්ව දැකපු සත්සිඳු තවත් මොහොතක්වත් එතන එහා පැත්තේ මං තීරුවේ නොඉඳ මෙහා පැත්තේ මං තීරුවේ තිබුණු නුග ගස් හෙවණ යටට දුවන් ආවේ පාරේ දෙපැත්තවත් නොබලා..

" ඔය හෙමින්... පරිස්සමින්... "

මිගාන් කෑ ගැහුවේ නුග ගස පාමුලට වෙලා පාර පනින කොල්ලා දිහා බලාගෙන.

වෙන දෙයක් වෙද්දෙන් කියලා එයා පාර පැනලා දුවන් ඇවිත් නුග ගස් පේළිය තිබුණු මං තීරුවට ගොඩ වුණා. කොල්ලගේ මූණේ තිබුණේ ලොකුම ලොකු ලස්සන හිනාවක්. ඒකට උපමා කරන්න තරම් දෙයක් නම් ගැරඬියගේ මනසට ඒ මොහොතෙදී ආවෙ නෑ.

" තෙමෙන්නේ පිස්සුද ? "

හිනා වී ගෙනම එයා ගාවට එන කොල්ලගෙන් ගැරඬියා ඇහුවේ නුග ගහ පාමුලට වෙලා ඉන්න ගමන්මයි. එයා මොකුත් නොකියා හිනා වී ගෙනම නුග ගහ පාමුලට ඇවිත් ගැරඬියගේ ළඟට වුණේ මුළු ඇඟම හිරි පොදත් එක්ක තෙත බරිත වෙලා තියෙද්දි. ගැරඬියා ආයෙමත් ඇහුවේ අර කලින් ඇහුව ප්‍රශ්නෙමයි.

" තෙමෙන්නේ මොකෝ.. පිස්සුද... ?"

" ඇයි සර් වැස්සට ආස නැද්ද? "

එයා ඇහුවේ තෙත්බර වෙලා තිබුණු හිස කෙස් ගසාලන ගමන්. ඒ කෙස්වල රැඳුණු දිය බිඳු පොදක් ගැරඬියගේ මූණේ ගිහින් තැවරුණේ සිනිඳුවට වගේ.

" ආසයි නම් තමයි.. රෑට එහෙම නම් මරු.. හොඳට නිදාගන්න පුළුවන්නේ... "

මිගාන් කිව්වේ කොල්ලගෙ මූණ දිහා බලාගෙනමයි .

" අනේ අනේ... වැස්සත් එක්ක තියෙන ලස්සනම මතකය ඒකද? "

" නෑ නෑ... මං වැස්සට නිදාගන්න ආසයි ඉතින්... "

මිගාන් ආයෙමත් ලොකු හුස්මක් අරන් පිට කරලා තව සැරයක් කතාවට මුල පිරුවා .

" ඔයාට කියන්න රෑට වහිද්දි coffee එකකුත් හදාගෙන බැල්කනි එකට වෙලා බලන් ඉන්න එකට තමයි මං නම් ආසම.. ඒ මොහොතෙදී හිත අතරමං වෙනවා වගේ.... "

ගැරඬියා හරි ලස්සනට කිව්වෙ කොහේදෝ මොහොතකට අතරමං වෙලා.

" අපිට කොහෙන්ද බැල්කනි... ඔහේ කාමරේට වෙලා ජනෙල් කූරු අස්සෙන් බලන් ඉන්නව ඇරෙන්න... "

එයා යාන්තමට හිනා වෙන ගමන් කිව්වා.

" ඉතින් මගෙ ගෙදරට එන්නකෝ... "

මිගාන් කිව්වේ ගත් කටටම වගේ.

" ඈ.... "

කොල්ලා එහෙම්මම ගැරඬියා දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරන් පුදුමෙන් වගේ.

" ඔ..ඔයාගෙ ගෙදර... "

" ඔව්.. "

කිසි ගානකට නැතුව ඇඟට පතට නොදැනී ඔව් කිව්ව ලස්සන.. යකාගේ පුතෙක් තමයි.

" හහ්.. හොඳට හිටියි... මං මේ සර්ගේ ගෙදර ඇවිල්ලා නතර වෙන්න.. පිස්සු කෙළින්නැතුව ඉන්න... "

එයා කිව්වේ ටිකක් අහක බලාගෙන වුණත් ඇස් කොණකින් වගේ මිගාන් දිහා බලන ගමන්.

" අනේ මේ.. මං උඹව කන්නේ නෑ... "

" ඔව් ඔව්.. කන්නෙ නම් නෑ.. ඒ වුනාට.... "

එයා කියන්න ගිය දේ එහෙම්මම ගිලගත්තා. එතනින් එහාට ඉතින් ප්‍රශ්න වැලක්. මිගාන් බලන් උන්නේ එයා කියන්න ගියේ මොකක්ද කියලා පුදුමයෙන් වගේ බලන ගමන්..

" මොකක්ද.. මොකක්ද ඒ කියන්න ගිහින් ගිලගත්තේ.. ? ආ.... මොකක්ද ඒ.. ? "

එයා අන්තිම ටික අහන ගමන් දකුණු අතින් කොල්ලගෙ වම් කණින් අල්ලලා මිරිකන්න වුනාම කොල්ලා කෑ ගහන්න වුණා.

" ඌයි ඌයි... ආව්...ඌයි රිදෙනවා... "

කොල්ලා කෑ ගැහුවා.

" රිදෙන්න තමයි මිරිකුවේ... "

එයා කිව්වේ හිනා වෙවී.

" මහ නරකයි සර් ඔයා නම්... "

කොල්ලා කිව්වේ නෝක්කාඩුවෙන් වගේ.

" හරි හරි මේ.. මේ බලන්නකෝ..කෝ මේ බලන්නකෝ... "

ගැරඬියා අහක බලන් ඉන්න කොල්ලගේ මූණ අත් දෙකෙන්ම අල්ලලා එයාගේ පැත්තට හරවා ගත්තා.

" අනේ ඉතින්... පොඩ්ඩ ඇත්නම් තරහා යනවනේ මුට... "

" මං එහෙම තමයි.. "

කොල්ලා ආයෙමත් නෝක්කාඩුවෙන් වගේ කිව්වා.

" අම්මෝ... ඇත්තද.. ? හා හා.. ඒකට කමක් නෑ.. දැන් කියන්නකෝ වැස්ස ගැන... "

" වැස්ස ගැන... "

එයා ඒ පාර නම් ගැරඬියා දිහා බැලුවේ හිනා වෙලා.

" හ්ම්.. වැස්ස ගැන... "

" වැස්ස ගැන මොනාද ? "

" ඇයි ළමයෝ.. වැස්සට ආසයි කිව්වේ... "

" හ්ම්... ගොඩාක්... "

මූණේ හරිම අපූරු පුරුදු හිනාවත් පුරවගෙනම කොල්ලා අත් දෙක බැඳගන්න ගමන් කිව්වේ හීන් හිරිපොද වැස්ස දිහාවටත් ඇස් යොමු කරලා.

" ඉතින් කියන්නකෝ.. මොකෝ හිතෙන්නේ මේ වැස්ස ගැන... "

මිගාන්ගේ ඒ ප්‍රශ්නයත් එක්ක සත්සිඳු ලොකු හුස්මකුත් අරන් හිතේ තිබුණු හැඟීම් වචන කරන්න වුණා.

" වැස්ස කියන්නේ මගෙ යාළුවෙක්.. පුංචි කාලෙ ඉඳන්ම මං මේ වැස්සට ආදරේ කළා.. එදත්, අදත්, හෙටත්... හැමදාමත් මං මේ වැස්සට ආදරෙයි.. වැස්සක් එද්දි මට හිතෙන්නෙම මගෙ පරණ පුරුදු යාළුවා ආයෙමත් මං ගාවට ආවා වගේ හැඟීමක්... මං ඒ හැඟීමට ලෝභයි, ගොඩාරියක්... "

තාලෙට වැටෙන වැහි බින්දුත් එක්ක එහෙ මෙහෙ යන එයාගෙ ඇස්.. ඒත් එක්කම වැස්සෙ තාලෙටම වගේ මිමිණෙන එයාගෙ වචන.. ඒව සවන්පත් පිනවන මියුරු වදන්. හිතට වැස්සක් වගේම සැනසීමක් දෙන අපූරු කටහඬට ගැරඬියා සවන් දුන්නේ වශීකෘත වෙලා වගේ.

" කොහොමද ඔච්චර ලස්සනට හැඟීම් වචන කරන්නේ ?"

එයා ඇහිපිල්ලමක්වත් නොගසා ඉඳන් ඇහුවේ එච්චරමයි . එයා ලාවට හිනා වෙලා ඒකටත් අපූරුවට උත්තර බැන්දා.

" හැඟීම් ඉපදෙන්නේ හිත්වල.. හැඟීම් වචන කරන්නේ ඒ හිත්මයි.. ඉතින් ඒක අමාරු වැඩක් නෙවෙයි.. ඕනි කරන්නේ ලස්සන හදවතක් විතරයි... "

" ඉතින් මගෙ හදවත ලස්සන නැද්ද?"

එයත් ඉඳල ඉඳලා අහන්නේ සඳ බොඳ වෙලා , බඳ කැරකිලා යන ශානරයේ ප්‍රශ්න. හිත දෙතැනක නතර වෙලා තිබුණට දැන් දැන් හිත ගැරඬියා ගැන ලතැවෙන වාර ගණන වැඩි වෙද්දී ඒ හදවත ලස්සන බව නොතේරෙන්නෙ මොකද. ඇත්ත , ඒ හදවත හරි ලස්සනයි. වචනවලින් කියන්න බැරි තරම් ලස්සනයි. හරියට වැස්සක් වගේමයි.

" කොහොමද මං දැන් සර්ට ඒකට උත්තර දෙන්න ඕනි.. ? "

" හිතට අවංකව එන ඕනිම හැඟීමක් වචන කරලා කියන්න.. ඔයා කියන ඕනිම දෙයක් මං භාරගන්නවා... "

එයා කිව්වේ තිර අදිටනින් බව ඒ වචනවල තිබුණු ගැඹුරු ගතියෙන්ම සත්සිඳුට තේරුණා. ඒ හදවත ගැන කොහොම නම් කියන්නද.. දෙතැනක හිරවෙලා ලතැවෙමින් උන්නු අහිංසකයගේ හදවත දැන් දැන් ඒ හදවතත් එක්ක බැඳෙනවා කියන්නද..

" සර් දන්නවද.. මේ ලෝකේ මිනිස්සු ඉන්නවා හරියට මායාකාරයෝ වගේ.. එයාලා කරන සමහර මායාවන් හරි ආදරණීයයි.. හිත උදුරලා අරන් එයාලා ගාවින්ම තියාගන්න තරම් ඒ මායාකාරයෝ හරි බලගතුයි.. එයාලා හරි හරියට හිත් හොරකම් කරනවා.. ඉතින් දන්නවද, සර්ගේ හදවතත් එහෙව් මායාකාරයෙක්ට අයිති හදවතක්.. වෙලාවකට ඇට්ලස් කන්ද වගේ... තව වෙලාවකට සිනිඳු ලැවැන්ඩර් පෙත්තක් වගේ... "

එයා කිව්ව වචන හොරකම් කළේ ගැරඬියගේ හිත.. ඒ හිතට කොල්ලා ගැන තිබුණු අපරිමිත නැඹුරුව තව තවත් වැඩිවෙන ගමන්..

" අනේ අනේ.. ඒ වචන ටික.. පුදුමාකාර ලස්සනයි කොල්ලෝ.. අහ් හරිනේ... එක අතකට ඒක එහෙම වෙන්නත් එපැයි නේද? කොල්ලා පත්තර වාර්තාකාරයෙක්නේ... "

මිගාන් කිව්වේ හිනාවෙලා. සත්සිඳු ත් ඒ හිනාවට හවුල් වුනේ එයත් එක්කම හිනාවෙන ගමන්.

" මේ... "

" ම්... "

" ඒක නෙවෙයි..."

" මොකක්ද ? "

" ඇයි අද උදේ ආවෙ නැත්තේ ? "

කොල්ලා ඇහුවේ අහන්න බලාගෙනම උන්නු ප්‍රශ්නයක්.

" මට හිතුණා අහයි කියලා.. "

එයා කිව්වෙ එහෙම ප්‍රශ්නයක් බලාපොරොත්තු වුනා වගේ. ඇත්තෙන්ම එයා ඒ ප්‍රශ්නය කොල්ලා අහයි කියලා බලාපොරොත්තු වුනු ප්‍රශ්නයක්.

" හිතුණා නෙවෙයි.. ප්‍රශ්නෙන් පිට පනින්නෙ නැතුව දැන් ඇත්ත කියන්නකෝ... ඇයි උදේ ආවෙ නැත්තේ ඇත්තෙන්ම... "

" මේ මල වැස්ස අස්සේ මූටත් මතක් වෙන ප්‍රශ්න... "

" ඔය ඉතින්... "

" ඇයි ? "

" සර් ප්‍රශ්නෙන් පිට පනිනවනේ... "

" හරි හරි.. ඔයාට ආරංචි ඇතිනෙ ක්ලෙයාරාගේ ප්‍රශ්නේ ගැන... "

" හ්ම්... "

සත්සිඳු පුංචි හුස්ම පොදක් පිට කළේ ඒ එක්කමයි .

" ඉතින් මං ඒකට පොලීසියට ගියා උදේ.. ඒත් ඉතින් මට පොලීසි ගානෙ යන්න බෑනේ.. දන්නවනේ මං වුණත්... "

මිගාන්ට කියන්න හම්බ වුණේ එච්චරමයි . මැද්දෙන් පැන්නේ එයාගේ අහිංසකයා.

" ඔව් ඔව් දන්නවා.. ඔයාට ඉතින් පොලීසි ගානෙ යන්න බෑනේ.. නේද? කරලා තියෙන වැඩත් එක්ක... "

කොල්ලා එහෙම කියලා තොල් දෙක හපාගත්තේ හිනාවක් පිටවෙන්න ආව නිසා ඒ හිනාව හංගගන්න ගමන්.

" උඹේ කට වැඩියි හරිද... "

මිගාන් කිව්වේ හිරිපොද අතරෙම එයාගේ මූණට එබෙන ගමන්.

" ඉතින් අඩු කරන්නකෝ... "

සත්සිඳු කිව්වේ කොල්ලගේ ඇස් දිහා සෘජුවම වගේ බලාගෙන.

" මෙතන බිත්ති හතරක් බැඳලා තිබ්බා නම් මං දනී අඩු කරන හැටි... "

ගැරඬියා කොල්ලගේ කණට කරලා රහසින් වගේ මුමුණද්දී එයා ලැජ්ජාවෙන් බිම බලාගත්තා. එයත් එක්ක කතා කරද්දී ගැරඬියගේ හිත නිවෙන හැටි.. බොළඳ , සීනිබෝල කතා ගොඩක් මැද්දේ ඒ ගෙවන තත්පර.. ඒවා මායාකාර හිත් එක්ක ගනුදෙනු කරන වචන. මායාකාරී ෆැන්ටසියක් වුණත් හරි පරිණතයි. ඒත් මායාවක් එක්ක ජීවත් වෙද්දි සමහර තැන්වලදී අර පරිණත බවින් මිදිලා බොළඳ වෙන්න වෙන හේතූන් , අවස්ථාවන් නැතුවම නෙවෙයි.

" මේ ඒක නෙවෙයි.. දැන් මේ පොදේට අහුවෙලා හිටියා ඇති නේද.. නැත්නම් ඉතින් හෙට office ගිහින් ඔය ළමයට හචස් පචස් ගගා හිටියහැකි.. "

ගැරඬියා කිව්වේ හිනා වෙවී තමයි. ඒත් ඒ වචන පිට කරපු ස්වරය අස්සේ ගැබ් වෙලා තිබුණේ අවවාදාත්මක බවක්.

" අදත් ice cream කමුද.. ? "

කොල්ලා ඇහුවේ එක පාරටම වගේ.

" අනේ මේ.. මගේ යකා අවුස්ස ගන්නෙපා.. මෙන්න මෙහෙ වරෙන් යන්න.. "

ගැරඬියා එහෙම කියාගෙනම බයික් එකට නගින ගමන් ගෙනාපු කුඩය කොල්ලා දිහාවට විසි කළා. හයේ ප්‍රහාරයක් අල්ල ගන්න පන්දු රකින්නෙක් වගේ කොල්ලා කුඩේ අල්ලගෙනම ගිහින් ගැරඬියගේ බයික් එකට ගොඩ වුණා.

" යං ඉතින්... "

කොල්ලා බයික් එකට ගොඩ වෙලත් මිනිත්තුවක් දෙකක් යනතුරුම බයික් එක start නොකර ඔහේ side mirror එකෙන් එයා දිහා බලන් ඉන්න ගැරඬියට කොල්ලා කිව්වේ අතින් එකක් ගහන ගමන්මයි. ගැරඬියා එහෙම්මම හිනා වෙලා බයික් start කරද්දී කොල්ලා එයාගේ උරහිස් දෙක තද කරලා අල්ල ගත්තේ යාන්තමට වගේ හිනා වෙන ගමන්.

හිරිපොදත් එක්ක බයික් එකේ යද්දී වැහි බින්දු කපාගෙන වගේ තමයි යන්න තියෙන්නේ. එයා යන speed එකත් එක්ක නම් වැහිබිඳු කැපෙන්නේ හරි හරියට.

" කුඩේ ඉහළගන්න.. හෙම්බිරිස්සාවක්වත් හැදෙයි... "

ගැරඬියා කිව්වේ බයික් එක ride කරන ගමන්මයි .

" ඕනි නෑ.. මෙහෙම යංකෝ.. මෙහෙම යද්දි ජොලි... "

" ජොලි පෙනෙයි හෙට දෙන්නම උණ ගැනුනම.. ඕක ඉහළපන් දැන්වත්..."

ගැරඬියා බයික් එක ride කරන ගමන්ම කියන්න වුණේ සද්දෙන්. මොකද හුළං පාරයි, පොද වැස්සයි කපාගෙන ඉස්සරහට යද්දි පිටිපස්සේ ඉන්න එකා ආටානාටිය කිව්වත් ඇහෙන එකක්‍ නෙවෙයි.

" සර්ට පීනසද.. ? "

" මට ඇති පීනසක් නෙවෙයි මනුස්සයෝ.. මං කිව්වෙ උඹ ලෙඩ වෙයි කියලා..ඒ හින්දා ඕක ඉහළගනින් හිවලෝ... "

" හරි හරි.. මේං ඉහළුවා... "

කොල්ලා කුඩේ ඉහළන ගමන්මයි එහෙම කිව්වේ. දැන් දැන් එකට එක කියන්න, කට ගහන් යන්න යන එකෙත් සීමාවක් නම් නෑ. ඒත් මිගාන් ආස කරන්නෙම ඒ දේවල්වලට . සත්සිඳුගේ අහිංසක ගති පැවතුම් , හිතුවක්කාර ගති පැවතුම් හැමදේකටම ගැරඬියා උන්නේ වශී වෙලා වගේ. එයා ගැරඬියා ඉස්සරහා හුරතල් වෙද්දී කොල්ලට හිතෙන්නෙම ඒ කම්මුලක් හපන්නමයි.

දෛවය මෙච්චර සුන්දර විදිහට ජීවිතේ ලස්සන කරනවද. අහම්බෙකින් වුණත් එයා ජීවිතේට ළං වුණු හැටි. ඒ මොහොතේ ඉඳන් මෙතුවක් ගෙවුණු තත්පර.. ඒ හැම තත්පරයක්ම හරි අපූරු සුන්දර මතකයක්..

සුළං රැල්ලත්, හිරිපොදයත් කපාගෙන වේගයෙන් ඉස්සරහට ඇදෙන kawazaki bike එක කිරුළපන හරියෙදි වගේ ගැරඬියා slow කළේ හිතලමයි. වැස්සත් එක්ක වෙනදටත් කලියෙන් පරිසරය පැතිරිලා තිබුණු අඩ අඳුර ඒ මොහොතට නම් මුතු කුඩයක් ඉහළුවා හා සමානයි. ඒ නිමේෂය වෙනුවෙන් ඒ අඩ අඳුර ඒ තරමටම ආශිර්වාදයක් .

" තනි යහනේ මා තැවෙනා හැම වාරේ...

ඔබෙ පහසේ මා සිහිනෙන් සැනසෙන්නේ...

මා තුරුළේ ඔබ නළවා සනසන්නේ...

කවදාදෝ මේ සිහිනේ එළිවන්නේ... "

ඒ හඬ හිරිපොද වැස්සෙහි හඬත්, සුළං රැල්ලත් එක්ක මුහු වෙලා ගෙනාවේ මියුරු ස්වරයක්.

හෙමින් සැරේ බයික් එක ride කරන ගමන් ගැරඬියා මිමිණුව ඒ පද හතර කොල්ලගේ හිත උදුරගත්තු අපූරුව. ඇත්ත.. සිහිනයක නැවතිලා ඒ සිහිනය එළිවෙනතුරු එයාගෙ දෑස් බලන් ඉන්නවා. තනි යහනට වෙලා කොල්ලගේ පහස සිහිනෙන් මවාගෙන එයා ජීවත් වෙනවා.

ඒ තමයි ආදරේ හැටි. තටු බිඳුණු කුරුල්ලෙක්ට අත් තටු දෙන්න පුළුවන්ද.. ඇට්ලස් කඳු පාමුල ඉඳන් පියගැටපෙළක් තනන්න පුළුවන්ද.. නටුවකින් ගිලිහුණු මලක් නැවත ඒ නටුව මත රඳවන්න පුළුවන්ද.. ඔව්, ඒ තමයි ආදරේ හැටි.

ඒ ආදරේ හරියට පටිසෝතගාමී දහමක් වගේ. ඔය වැහි බිඳු පොළවට එන්නේ නිකන් නෙවෙයි ; ආදරෙත් අරන්.. වැහිලිහිණි හංගන් ඉන්න ඔය වැහි බිංදු බර වැඩි වුනාම මේ පොළවට ඇද හැලෙන්න ඉඩ හරිනවා. උන් ඔහොම උන්නට මොකද, පුංචි මායාකාරයෝ ජාතියක්.. හරියට නිල් කුරුමිට්ටෝ වගේ.

වැහි බිඳුවල තැවරුණු ආදරේ තමයි වියළුනු තුරු සුවපත් කරන්නේ. ආදරේ විප්‍රයෝගයෙන් විඳවන තුරු හිත්වලට ආදරේ බෙදලා ඒ තුරු හිත් ආදරේ පුරව පුරව සුවපත් කරන්නෙම ඔය වැහි බිඳු. ආදරේට තවත් නිර්වචනයන් ඇයි ?

ආදරේ කියන්නෙම හිත් පාරන තුවාලවලට කරන සුවදායී ඔසුවක්..

අරුමෝසම් පාට ගල්වපු සින්තටික් ලෝකයෙන් මිදිලා මොහොතකට ආදරේ දිහා බැලුවොත්.. ඔව්, එතකොට නම් පෙනෙන්න ගන්නවා ආදරේ කොච්චර පරිණතද කියලා.

එයා මුමුණපු අර පද හතර අරුමෝසම් නෑ. ඒ වචන පරිණත හිතකට කාගෙදෝ පන්හිඳකින් ලියවුණු වචන..

ඒත් එක්කම ඇති වුණේ මද නිහඬතාවක් . ඒ දෙන්නා අතරේ වචනයක්වත් හුවමාරු නොවුණු තරම්. සත්සිඳු නිහඬව ඉන්න ඇසිල්ලක ආයෙමත් මිගාන් කතාවකට මුල පිරුවා.

" ඇයි මොකුත් නොකියා ඉන්නේ ? "

" සමහර තැන්වල නිහඬ වෙලා විඳගන්න තරමට හිතට සැනසීමයි... "

සත්සිඳු කිව්ව ඒ වචන ටික ගැරඬියගේ පපුවේ ගැඹුරු පතුලක් හොයාගෙන ගිහින් තැන්පත් වෙද්දි එයා අයිනකට කරලා බයික් එක එහෙම්මම නතර කළා.

" ඔයා ඇත්තෙන්ම විඳිනවද ම්... නැත්නම්.. නැත්නම් විඳවනවද.. ? "

එයා බයික් එක නතර කරලා කොල්ලගේ පැත්තට යාන්තමට හිස හරවලා ඇහුවා.

" විඳින්න ඕනි තැන් විඳිනවා.. ඒත් විඳවන්න ඕනි තැන් විඳින්න තරම් මං පරිණත නෑ සර්... "

එයා කිව්වේ දුකකින්ද මන්දා. ඒත් ඒ හඬේ ගැබ් වෙලා තිබුනේ හැඟීම් අනන්තයක එකතුවක්.

" ඉතින් ඇයි එහෙම විඳවන්නේ දරුවෝ.. ? ඔයාට බැරිද ඒ විඳවන්න හේතු මාත් එක්ක බෙදාගන්න.. ම්.... "

ගැරඬියා අහිංසක විදිහට ඇහුවත් ඒ මූණේ තිබුණේ සංකීර්ණ හැඟීම් ආවලියක්. ඊටත් එහා ගියපු පරිණත බවක්.

" මං බයයි සර්... "

එයා රහසින් වගේ මිමිණුවා .

" ඇයි බය ? "

" මගේ හිත භාරදෙන්න මං බයයි.. "

එයා කිව්වේ එච්චරමයි . එහෙම්මම ඇස් දෙක අහකට හරවගත්තු සත්සිඳුට ඕනි වුණේ ගැරඬියගේ දරාගන්නම අපහසු බැල්මෙන් මොහොතකට ගැලවෙන්න.

" ඔය හිත ඇස් දෙක වගේ පරිස්සම් කරන්න පොරොන්දු වුනොත් මටම කියලා ලියලා දෙන්න පුළුවන්ද...? "

එයා ඇහුවේ හිතේ උතුරන ආදරේ පිටාර ගලන් යද්දී. කොල්ලා එහෙම්මම ගැස්සිලා ගිහින් ආයෙමත් ඒ ඇස් එක්ක පැටළුනා.

" සර්...! "

එයාට පුදුමෙනුත් පුදුම කියන දේ නෙවෙයි, එයා කතා කරන විදිහ.

" මලක් වගේ හැමදාටම බලාගන්නම්.. මං ගාවින්ම තියාගන්නම්.. පණටත් වඩා ආදරේ කරන්නම්.. ඔය ඇස් දෙකට කවදාවත්ම කඳුළක් ගේන්නෑ කියලා ඕනි තැනක දිවුරන්නම්.. මගේ වෙන්න බැරිද... ? "

ඒ වචන.. ඒවා හිත හූරන තරම්.

" මං දන්නෑ සර්... "

හිතාගන්නවත් බැරි නිමේෂයන් තුළ ගැරඬියගේ හැව මාරු කිරීම හා සමාන මේ විපර්යාසය නම් කොල්ලට හිතාගන්නවත් , දරාගන්නවත් බෑ.

" එක දෙයක් කියනවද....? "

" මොකක්ද ? "

" මං babybabe කිව්වට කමක් නැද්ද ? ම්... ආදරේට... "

එච්චර ආදරෙන් අහද්දි එපා කියන්න පුළුවන්ද. එයා හිස දෙපැත්තට වැනුවේ හා කියන්න වගේ.

" කියන්නකෝ... හාද? "

" හා... "

එයා කියද්දී අර දඩබ්බරයගෙ මූණේ මැවුණු හිනාව. ඒක හිනාවක් නෙවෙයි ඉනාවක්..

" Babybabe..."

" ම්... "

" දැන් යමු.. රෑ වෙනවනේ... "

" හ්ම්..."

මීළඟ කොටසට ...

More Chapters