LightReader

Chapter 18 - 18

මගෙ සුදු මහත්තයා ගමට එනවලු....

මට කොයි අහට හැරිලා බුදුන්ට පින් දෙන්ඩද හිතාගන්න බැරි උනා...ගව් ගානක් දුරින් වැඩ ඉන්න සමන්දෙයි හාන්දුරුවන්ට කියන්ඩද.....

ද්‍රෝනයක් ධාතු දරන ස්වරනමාලියට කියන්ඩද.....ඒත් නැත්තන් ඉහලින් කෝටි තිස්තුනක්ම උහුලාන ඉන්න තව්තිසාවට කියන්ඩද...

මගෙ තුන් හිතම පිරෙනවා.....මූනෙන් වාන් නොදැම්මත් මගෙ තුන් හිත පුරාවටම ප්‍රේම මල් හිනහෙනවා...ප්‍රේම මර්මස්තාන පුරාවටම මලවිගෙ දෑතින්ම හිටවාපු ආල මල්වල සුවද විහිදෙනවා....

දෙයියො බුදුන්ට ඔප්පු වෙන්ඩ කනකොක්කු අරක්ගත්ත මේ ගම්තුලානෙ අවාරෙ කොහෙක් ඇඩුවෙ මට අවුරුදු ලබන්නා කියන්ඩද...??

බක්මහට මිසක අවාරෙට කොහෙ කියලා එරබදු මල් පිපෙන්ඩද.....???ඒත් කවදාවත් නැතුව අද අදෝනා තියන උලලේනියන්ගෙ සෝකාලාපෙත් යට කරගන කොහෙක් උක්කූ...ක්....උක්කූ.....ක් ගෑවෙ කාට නැති උනත් මට අවුරුදු ලබනවා කියන්ඩද.....???

වාරෙටත් කලියෙන් මට එරබදු මල් පිපුනා!

අනෙ සමන්දෙයි හාන්දුරුවනෙ ....කොලොන්තොටින් නැව් නගින මයෙ අම්මව පරිස්සමට මට ගෙනල්ල දියල්ලා....උඹලා දන්නවා බුදු හාමුදුරුවනෙ....මං කවදාවත් බුදු පහන තියලා මහා දේවල් ඉල්ලපු එකෙක් නෙවෙ...

දෙයියන්ටත් පහන රස්නෙ වැඩියෙන් වැදිලා අමනාප වෙයි කියන බයට හත් ගව්වක් දුර තියලා පානක් අවුලලා කුරා කූඹියෙක්ටවත් ආන්තරාවක් වෙන්ඩ එපා කියනවා ඇරුනම කප්පරක් ජාති නොයිල්ලපු එකෙක් කියන්ඩ උඹලා දන්නවා....

අනෙ මං බර තියලම අද යදිනවා...මගෙ කන්නලව්ව ඔය තිස් තුන් කෝටියේම සවන් වැකෙන්ඩ ඕන.....

මගෙ සුදු මහත්තයා එනවා කිව්වත් හරි,දෙයියො බුදුන්ට කියන ගමන් තට්ට තනියෙන් යටි හිතෙන් හිනා මලක සුවද විදපු මං පියුම් හාමු දිහා බැලුවා...පියුම් හාමු තවමත් අර උන්න ඉරියව්වෙන්මයි.....

පැත්තක් බලාගන කුටු කුටු ගානවා.... ඇදන් උන්න බතික් සරමෙ පිටිපස්ස කොනින් උස්සගන අඩි හප්පනවා...එහාට හැරෙනවා මෙහාට හැරෙනවා....අයියො දිරාපු අර ඉනිවැට කන්ඩ හදනවා.....අරකා ඇවිදින් එහෙන් වැට කනවා ...පියුම් හාමු මෙහෙන් වැට කනවා.....

ආයම ගුරුපාරෙ බොරලු කැට වලට රිදවනවා....

අහස දිහා බලනවා...මං බලාගන හාමු තැන අරකිලාට දෙහි කපන වාරයක් පාසාම ඒ කට ඩින්ගිත්තක් උල් වෙනවා.....ඇස් දෙකටත් මක්කද මන්දා විපරියාසයක් වෙනවා....

තනිකරම මගෙ සුදු මහත්තයගෙම අච්චුවක්මයි...පරල වෙන්ඩ ගත්තම කනක් ඇහෙන්ඩ නෑ.....ගස්සන ගැස්සිලි වලට අනෙ ළඟ පාත වසන්ඩ හොද නෑ.....ඒ දෙස් තිවිලි අහවර වෙන්නෙත් නෑ.....මන්දා...මයෙ අම්මව ආපිට යාලු කරගන්ඩ නම් කුලෑටි මට තුන්ලෝකෙම තියන හුරුතල් කතා අහුරු අහුරු ඒ කන් ගාව මුමුනන්න වෙනවා...

මගෙ කටින් වචනයක් ගන්න බැරිව ආපිට මයෙ වස්තුව පරල වෙනවා....

අනෙ දෙයියො සාක්කි.....කුකුදුලෙ ආදර හෝඩිය අකුරු කරන්න ගත්ත මයෙ ගාව කොහොන්දැයි ඔයාකාර පැනිබේරෙන ආදර මුකුලු කතා...

සබකෝලේ තිබුනට කමක් නෑ මගෙ ළමයා....ඒත් උඹගෙ හාමු ගාව නන්නත්තාර වෙලා යන්නම හිරිඔතප බිදලා දාපන්....උඹගේ ආකාස ආසම මන්දාරමකින් නන්නත්තාර වෙන්න.....

ඕන් බලාපල්ලා මයෙ කන් පෙති රත ගහන තැන්!

ඔය තියෙන්නෙ දෙස් තියාපු දවසක...නිස්කාරනෙ තරහා උන දවසක ආයමත් මයෙ ආදරෙ හොය හොය වචනවලින් තුරුලු වෙන්න ආව මයෙ සුදුමහත්තයගෙන් පිට උන මයෙ කන් රතු කරන වචන .....

කොලොන්තොට ආකාස පදාසේ ගැන හිත හිත උන්න මන් ආයමත් පියවි ලෝකෙට ඇවිදින් පියුම් හාමුගෙ ඈඩියාවට කන් දෙන්න ගත්තා.....

මේකිගෙ ගෑස් බලපන්කො යසෝද මල්ලි...පෙනේද....මූනක් දිහා බලන් නෑනෙ...ඒ උනාට මං ගෙනෙහින් දුන්න සබන් කෑල්ල නම් ගානවද කොහෙද.....ළඟින් මාරු වෙනකොට ඒ සබන් සුවද ආවා...

නෑ මං කියන්නෙ මට බහ දුන්නා නම් ඉවරනෙ...ලයින් වෙන ලකුනු පෙන්න පෙන්න පද්දන්නෙ මොකටද මං අහන්නෙ????

මොකො මං වෙන ගෑනු පස්සෙ යන එකෙක්ද .....නෑ...

මං ඔය අරක්කු සිගරට් බොන ඩස්පියෙක්ද...ඒත් නෑ..ඉදලා හිටලා අපෙ හාදයා එක්ක ලාවට අඩියක් ගැහුවට ඔව්වා දිගින් දිගටම කරන එකෙක් නෙවෙනෙ.....

මා එක්ක ආවා නම් මොකද....මොකො මට හෙන ගහලැයි??? මේක මාර කෙලියක් නේ...නාඩගම් මඩුවක් ඒක නම්...

යසෝද මල්ලි...මං මේ නිකන් අහන්නෙ...මගෙ මූන කවුඩු පනික්කියෙක් වගේද...මෙ කැහැටු ප්‍රේමාවති මට කවුඩුපනික්කියා කිව්වනෙ....කැහැට්‍ටි වගේ ඉන්නකොට මේ තරම් ගෑස් නම්....මේකිට මස් කලදක් ලියලලා තිබුනා නම් මට අල්ලන්න වෙන්නෙ නෑ....

ඒ උනාට ඒකි රවද්දිත් ලස්සනයි....කටු ගැහුන මූන උනාට ඒකිගෙ ඇස් අහිංසකයි...හැබැයි ඉතින් මාව දැක්ක ගමන් අහිංසක අංගුලිමාලි වෙනවා...

"මගෙ කැහැට්ටි"

අපෙ එකාට කියලා මතුරවපු නූලක් වත් ගෙන්න ගත්තා නම්.....මං ඕකිට නුලක් වත් පන්නලා අරන් යනවා.....ඊට පස්සෙ බැරියෑ මටත් අමුඩයක් ගහන් කැකිරි හිටවන්ඩ...උදේට ගුරුකම කරනවා..හැන්දැවට හේනට යනවා....මෙ අත්වලට ඔය ආම්පන්න හුරු නැති උනාට පහු වෙනකොට හුරුවෙන්නෙ නැතෑ.....

මෙන් අහපියව්කො .....හාමු තැන සමනගෙ ගෑනිට දැන් කැහැට්ටිලු!!

මං නෙවෙ වචනයක් කිව්වෙ.....පියුම් හාමුගෙ කියවිල්ලට මගෙ ඉහරදෙත් අල්ලන් ආවත් මගෙ සුදුමහත්තයගෙ කියවිල්ල එක්ක මෙ මොන කියවිල්ලක්ද කියල හිත හදාගත්ත මං මයෙ පැටියගෙ අම්මට දෙස් තියන හාමු තැන අරකිට දෙහි කපලා කපලා අවසානෙදි අමුඩයක් ගහන් හේනකට යනවා කියනවත් එක්කම මං අහක බලාහන කම්මුලට අත ගහගත්තා....

මල් පෙති වගෙ අත් තියාගන හාමුගෙ කතාව උදලුමිටවල් එක්ක ගනුදෙනු කරන්න....

ආදරෙන් මත්වෙලා ඔහේ කියවන් යනවා මිසක හාමු දන්නෙ නෑ මේ කාඨක ජීවිතවල බරෙ තරම.....

අපෙ එකාට කියන්න ඕන පැංචට හොද කිරි ටින් එකක් ගේන්ඩ කියල.....පව් මගෙ පැටියා.....ඒකට දැන් හිනා වෙන්නත් දන්නවා...අරකි ඉතින් ලමයව නිකන් වත් මගෙ අතට දෙන්නෙ නෑනෙ...

මං නෙවෙ හා හූම් කිව්වෙ.....පයින් අනින එකයි උඩ පනින එකයි වලවල් හාර හාර දෙස් තියන එකයි නවත්තපු පියුම් හාමු අනිත් පාර අර ගම්බිර හාමු ලීලාවට මාරු වෙන ගමන් උඩු රැවුල උඩු අතට කරකව කරකව පැටියට කිරි ටින් එකක් ගේන්න ඕනා කියනවත් එක්කම මගෙ ඇස් හීන් වෙලා ඇහිබැම රැලිවැටුනා.....

හාමු තැන මයෙ කොල්ලට " මගෙ පැටියා" ගෑවා....

ඒකා මයෙ මිසක් හාමුගෙ වෙන්නෙ කොහොමද.....

මගෙ පැටියලු...

හාමු උඹ ගෑනිව ගත්ත වගෙ මගෙ කොල්ලවත් ගන්නද හදන්නෙ හාමු??

කවදාවත් නැතුව මගෙ පපුවෙ බරම පැත්තෙ නහර කකියන්න ගත්තා....ඉල්ලුවෝතින් ඉහත් දන් දෙන වෙස්සන්තර හිතක් තියන මට කවදාවත් නැතුව රිදෙන්න ගත්තා..

පියුම් හාමු කියන්නෙම මිහිපිට පහල උන දේවතාවෙක් හා සමාන වෙද්දි ඒ උත්තමය ගැන මගෙ තුන් හිතක වත් අබමල් රේනුවක තරම් තරහවක් නැති උනත්....

අනෙ මට අද රිදෙන්න ගත්තා....

නිවන්....මයෙ පුතෙ...ජාතක නොකෙරුවත් මේ අප්පුච්චා උඹලට බැදිලා තියන තරම ජාතක කරාපු එකාටවත් උහුලන්න බැරිවෙයි...

කමක් නෑ....පියුම් හාමු අවැඩක් වෙන දෙයක් කිව්වා නෙවෙනෙ.....මයෙ පැටියා කිව්වෙ ඒ හිතෙත් කොලු පැටිය නමින් පීදුන ආදරෙ හන්දනෙ...

එක තත්පරේකට පපුවෙ බරම පැත්ත රිදවගත්ත මං ආපිට තව තත්පරයක් ගෙවෙන්න කලියන් මයෙ හිත හදාගත්තා....පියුම් හාමු ආඩපාලි තියන්නෙම ප්‍රේමට වෙනකොට ආරූඪ උන කට්ටඩ්යා වගෙ මතුරන පියුම් හාමුගෙ අත් ගොබෙන් මිරිකලම අල්ලගත්ත මං අනිත් පාර ඒකව ඇදලා පාරෙන් අහකට කෙරුවා...

උ....ඌව්හ්හ්හ්...යසෝදයො....මගෙ අම්මො මල්ලි...

හාමු හදන්නෙ අරකිගෙ සිහියෙන්ම ඉදල වාහනවලට අඩ තියන්නද?

ගුරුම ගුරුපාට දූවිල්ල අවුස්සන් ඈතින් එන ආර්මි ට්‍රක් එක පෙන්නපු මන් පියුම් හාමු චර චරු ගගා අත් ගොබේ අතගාන හාමුට නෝක්කාඩු කියන්න ගත්තා.....

යසෝද.....අද නම් එකක් නෙවෙ තුනක් එනවා .....

පියුම් හාමුගෙ කතාව ඇත්ත...වෙනදට යන්නෙ එක ට්‍රක් එකක් උනාට අද ගුරුපාරම කම්පා කරගන එක පෙලට හමුදා ලොරි තුනක්ම යන්න යනකොට උඩ වීසි උන දූවිල්ල නාහෙට යන්න නොදී පියුම් හාමු දෑතින්ම නාහෙ වහන් යුධ හමුදා කියලා ලියවෙච්ච කැලෑ කොල පාට ලොරි දිහා බලාන ඉද්දි ඇස් දෙක විතරක් හීන් කරගත්ත මං නාහෙ වහන් නොකරම ඒ දිහා බලාගන උන්නා....

මන්දා පියුම් හාමු...ඒකලා ඩින්ග ඩින්ග මෙහෙටත් එනවද කියලා.....එහෙම උනොත් කව්දැයි මෙව්වල ගෑනු රකින්ඩ ඉන්නෙ.....මේ ගම්තුලානෙම බාගෙට බාගෙකම කොල්ලන්ගෙ නමෙ අගට පොපි මල් එකතු උනා...රූපෙ අයියා කිව්වා ගහගන ගහන ඉහලටම යනවයි කියල....ඕකල හදන්නෙ අර පාලමෙන් මෙහා කෑල්ලම ඒකලාගෙ නමට ගන්ඩලුනෙ.....තවම මගෙ කොල කෑල්ල පුරවලා දෙන්ඩ හරි හමන් එකෙක් හම්බුන් නෑනෙ...කොහෙද පියුම් හාමුත් කාරනාව මගාරිනව....ආකාස මාව මරන් කන්ඩ හදනවා....

හමුදාවට ගියා කියලා මක්ක වෙනවද....කොහෙ උන්නත් මැරෙනවනෙ.....

.........ඕක කියලා අපේ එකා යසෝදව අල්ලන් පන පිට්න් එම්බාම් කරයි.....නිකන් ඉන්ඩ යසෝද...ඔය ප්‍රභාකරන් කාරයව ගෙනත් දාන්න ඕන ගල්පොත්ත හන්දියට....අරකට ගෑනියෙක් හොයාගන්ඩත් බැරි උන එකෙ මේකා එක්කවත් මොනවහරි කරගන්ඩ කියලා....යසෝද ඔය හමුදා කතාව නම් අපෙ එකා ආවම කියන්ඩ එපා...ඕකා යසෝදට බැනගන්න බැරි හැම වෙලාවෙම මටයි බැන්නෙ...මට ඌගෙ කරච්චලෙ අහන්ඩ බෑ....

ම්න්....මං දන්නෙ නෑ පියුම් හාමු වැරදිලාවත් මැරෙන මිනිස්සු අස්සෙ හැන්ගුන අමරනීය මිනිස්සු ඉන්නවද කියලා..හාමු ට එහෙම මිනිස්සු හම්බෙලා තියනවද.....??නොමැරෙන උන්.....සදාකාලිකවම මේව්වයි නවතින්න ආව එවුන්???

හ්ම්....ඉන්නවා....මං දෑහින්ම දැකලා තියනවා නොමැරෙන අමරනීය එවුන්.....

ඇවිස්සුන දූවිලි වලාව හීන් සීරුවෙ බිමට බහිනකොට තවමත් මගෙ ඇස් තිබුනෙ ගුරුපාරෙ පෙනී නොපෙනී වන්නියට ඇදෙන ලොරි දිහාවට වෙනකොට කවදාවත් නොමැරෙන අමරනීය එවුන්ව දැහින් දැකලා තියනවා කියපු එක ඇහුනා විතරයි මං පියුම් හාමු දිහාව බැලුවා.....

පියුම් හාමු දැකලා තියනවා.....???ඒ කොහෙද.....?

යසෝද මල්ලි කතාවක් තියනවා අහල තියනවද....කවියා මැරුනට....කවිය මැරෙන් නෑ කියලා....මේ ලෝකෙ දාස් ගනන් කවියො මැරිලා ඇති.....ඒත් කවදාවත් ඇහිලා තියනවද කවියක් මැරුනයි කියලා...ආන් ඒ වගේමයි..සමහර කුහකයො අධමයො මැරුනත් උන්ගෙ කුහක කම් පරම්පරාගානකට බෝවෙනවා...උන්ගෙ කුහක කම් හතර වටම සැරිසරනවා....මේ ගමින් බාගෙට බාගයක්ම ඉන්නෙ එහෙව් අධමකම් බෝ වුන නොමැරෙන එවුන්...

නවරත්න ගුරා....ඒකගෙ මායියා...සමුපකාරෙ එකා.....උන් ඇවිදින් අමරනීය එවුන්.....මේ හුස්ම ඩින්ග නිදි ඇදේදි යයිද කියන්න කව්ද දන්නෙ.....ඒත් එවුන් ජීවත් වෙන්නෙ නොමැරෙන එවුන් ගානට...යසෝදට කරන අඩත්තේටන් එක්ක මං නම් ඉන්නෙ පැසවන තරහින්....

එවුන් ඒ කුහකම තව එවුන්ට බෝ කරනවා....යසෝද....නවරත්න ගුරා දවසකට හරි උඹලව ඉස්සරහා දොරින් ගෙට ගත්තොත් උන්ගෙන් පස්සෙ එන උනුත් උඹලව ඉස්සරහ දොරින් ගෙට ගන්නවා....

ගුන යහපත් කම්..අධමකම් බෝ වෙනවා යසෝද....

පියුම් හාමු දිහා බලාහන ඉදලා ඉදලා අවසානෙදි ලාවට හිනා වෙන ගමන් බර හුස්මක් පාත දැම්මා....

යසෝද මොනාද කර කර උන්නෙ...

මයෙ අම්මා තේ කහට හදලා පියුම් හාමු...

සක්කරත් එක්කද යසෝද?

....ඔව්....මං නම් අප්පුච්චා වගේ අල්ලට සීනි ඇට දෙක තුනක් අරන් බොන්නෙ.....

..........අර ගෑනි බලු හුජ්ජනෙ හදන්නෙ ...කහට කියන නාමයක් නෑ අප්පා.....ආන් ඒ ගෑනි උලුහාල් වතුරත් තම්බන්ඩ පටන් අරන්....කෙට්ටු වෙනවලු.....කෙට්ටුවෙයි බිබික්කමක්...මං නම් කියන්නෙ නවරත්නයා හෙන්ඩුවක් අරගත්තා නම් හරි....එහෙම් පිටිම්ම මස් පර්වතයක්...අපෙ හාදයා තමා කියන්නෙ ඒකිලාගෙ තට්ටම් දෙක උඩ ඉස්කෝලයක් ගහන්න උනත් ඉඩ තියනවා කියලා...ඇත්ත නේන්නම්....මේන්....අම්මා සයිස් එක...බැක් සයිඩ් නම් එයා තමා!

හප්පොච්චියෙ.....පියුම් හාමු.....!

තේ කහට බිබී උන්නා කිව්වා විතරයි මං බලාගන පියුම් හාමු මගෙ ගෙපැල දිහාවට එබිකම් කරනවා.....උලුහාල් කනවා මදිවට දැන් උලුහාලුත් බොන්න පටන් අරන් කියාපු පියුම් හාමු අදත් නවරත්න ගුරීට පුලුවාන් තරම් අපහස කෙරුවා...

මේ අයියටයි මලයටයි ඒ ගෑනිට පදහදන්න තියනවා නම් වෙන මොනවත්ම ඕන නෑ...

කලුවා පුතා....!!

.

වැට කඩුල්ල පැනල උන්න මං මයෙ අප්පුච්චා ගාව ඉදගන උන්න කලුවට කතා කරගනම පියුම් හාමුවත් පහු කරගනම අඩියක් දෙකක් ඉස්සරහට ගියා විතරයි අප්පුච්චා ගාව උන්න කලුවා හීය වගේ දූවගන ඇවිදින් මට ඉස්සර උනා....

මේකගෙ බලු අන්ඩ දැන් හොද වෙලා නේ යසෝද....

එහෙමයි හාමු.....කී දොහක් මං ඔය අන්ඩට පත්තු බැන්දද .. ඒකලා මට තිරිසනෙක් නෙවෙ හාමු...මේකා මේ සංසාර චක්කරෙ කොහේම හරි තැනක මයෙ ලේ නෑයෙක් වත් වෙලා ඉන්ඩ ඇති...ඒතරම් ලෙන්ගතු කමක් සෙනෙවන්තකමක් ඕකගෙ හිතෙ මං ගැන තියෙන්නෙ....

මං කලුවා ගැන කියෙව්වා....මට වඩා අඩි දෙකතුනක් ඉස්සරහින් යන ඒකා මග දුරක් යනවා නවතිනවා පස්ස හැරෙනවා ආපිට මයෙ දිහා බලනවා...කලුවා පුතා කියල කතා නොකලත් ඒකා ඒ ජිල් බෝල වගෙ තියන ඇස්වලින් මයෙ දිහා බලන වාරයක් ගානෙම අනෙ මයෙ රන්පැටියගෙ ඉහම තට්ටෙ ගැහෙනවා...ඒ ඇස් දිලිහෙනවා.....හතර කුටීරෙට බද්ද උන ඒකගෙ වල්ගෙ හෝ ගාලා වනනවා...

කිව්වා වගෙම උඹලා මේ සංසාර්ව් චක්කරෙ කොහෙදිම හරි මයෙ කවුරු හරි වෙලා ඉන්න ඇති...

හාමු බොලාගෙ කකුල් පොඩිය හොදදැයි අහනවා කලූ....හොදයි කියාපල්ලා..මයෙ පුතාගෙ කකුල දැන් සනීපයි කියපල්ලා....

යන මග නැවතුන කලුවගෙ ඔලුව අතගාපු මං ඒකට හාමුට උත්තර බදින්න කියනවත් එක්කම ඒකා හිනාවේගනම හාමු දිහාව බලාගන කුරු කුරු ගෑවා...මටත් නොදැනිම මගෙ මූන පුරාවටම හිනා රැල්ලක් පීදුනා...

මයෙ කලුවා මං ආය ආයම කියනවා...දවසක මේ තිරිසන් ආත්මෙ අහවර කරන දාක...ආයමත් උඹලා ඉපදියන් මයෙ පුතා වෙලා!

අපි කොහෙද මේ යන්නෙ යසෝද....

කොල්ලව ඩින්ගක් බලලා එන්න හාමු...මට ඒකගෙ මූන පොඩිය අද දවසටම දකින්ඩ බැරි උනා...

මං බලාගන පියුම් හාමුගෙ මූන පාට වැටෙනවා....යන මග දැන දැනම පියුම් හාමු යන දිහාව අහනකොට මං මගෙ කොල්ලව බලන්ඩ යනවා කිව්වා විතරයි පියුම් හාමුගෙ මූන පුරාවටම තරු මන්දාකිනියක් පෑව්වා.....

කොලුවව විතරයි ඉතින් දකින්ඩ වෙන්නෙ....කොහෙද අර අම්මන්ඩි රවනවනෙ.....

.මේක නම් පුදුම දුකක් තමයි.....

පියුම් හාමු ආයම කියවනවා.....ආය ආයම ප්‍රේමට ආඩපාලි කියනවා ....හාමුගෙ කතා අහන් ගිහින් තව ටිකෙන් දෑහැට නොපෙනි කුකුලා කිකිලි හොයන සුදු පාට පුංචි පෙති තිබුන මැද කහපාට මලක් පයට පෑගෙන්න ගිහින් අනූ නවයෙන් ඒකත් බේරපු මම මල ඉරේ පාටින් පාටවීගන යන ආකාසෙ දිහා බැලුවා.....

මන්දාරම් ආකාස!උඹ කිව්වා හරි බේබි හාමු ඒක පුදුමාකාර ප්‍රේම සුසංයෝගයක් තමයි...

එක අතකට මං ඒකිට මෙහෙම ආඩපාලි තියන එක නරකයි නේද යසෝද...

ඒකිලාට හේතු ඇති මට වචනෙ නොදි ඉන්න....හේතු ඇති නෙවෙ...මේ ගමෙ ගොඩෙ ගෑනුන්ගෙ කටවල් වල තරම දන්න හන්දා ඒකි බය ඇති ....එදා ගුරාගෙ ගෙදරදි තව චුට්ටෙන් යසෝදගෙ නමත් කැත වෙනවා...

පර හැත්ත....පද හදන්ඩ ඇත්නම් අලි පිට අලි ගැහුවත් නිනව් නෑ...මං නම් කියන්නෙ අපරාදෙ යසෝදට තිබුනෙ අරකිගෙ කට කඩන්ඩ...

කමක් නෑ...අඩුම ගානෙ කටෙ සැරවත් පෙන්නලා ඉහට අත හෝදනකන් බලන් ඉන්නෙ නෑය කියන්න පෙන්නුවනෙ....අපෙ එකා නම් කිව්වා ඕකිව පාරකදි හම්බුනොත් කට කඩලමයි පස්ස බලන්නෙ කියලා.....

ඒකි මට බෑ කිව්වොත්.....මං ඒකත් බාරගන්නවා යසෝද...ඒකිලාට ආදරෙ කරන්න තීරනෙ කෙරුවෙ මම මිසක් ඒකි නෙවෙනෙ....මගෙ පැත්තෙන් ඇතිවෙන හැගීම් අනිත් පැත්තෙනුත් අනිවාර්යයෙන්ම ඇතිවෙන්න ඕනා කියන එකත් වෙලාවකට අසාදාරනයි.....හිමි නොවුනා කියලා මට ඒකි වෙනුවෙන් ඉපදුන ආදරෙ මරන්නත් බෑ...ඒක ඔහෙ තිබුනාවෙ....ගන්න නොගන්න එක ඒකිගෙ කැමැත්ත...

හැබැයි මේ තත්පරෙදි වත් ඒකිලා මට හා කිව්වොත්....සත්තයි යසෝද මං දැන්ම හරි කච්චේරියට යනවා....

එත් ඒකිව බලන්න පින තිබුනට...ලබන්න පින නැතුව ඇති මට.....

කමක් නෑ....හිතක් රිදවලා අයිතිකරගන කරන ආදෙරෙන් තේරුමක් නෑ යසෝද...මට ඔය කාරනා තේරුම් ගන්න බැරි අදමයෙක් නෙවෙ....

හිමි උනා..නැතා.....ආදරේ ආදරේමයි....මං අදක ඊයෙක ඉදන් ආදරෙන් පැරදෙන මනුස්සයෙක් නෙවෙනෙ ...

මට මේවා දැන් හුරුයි....

පියුම් හාමු බර අඩි තියනවා..බොරලු පාර පයට පෑගෙන වාරයක් වාරයක් පාසාම සුදු කකුලට දාන් ඉන්න සෙරෙප්පුවෙන් බොරලු කැට පොඩි වෙවී යනවා....

චරස් චුරුස් ගානවා....පියුම් හාමුගෙ දෙස් තිවිල්ලෙ වේගෙ එන්න එන්නම බාලවේගන එනකොට සමනගෙ වැටකඩුල්ල පේන මානෙ උන්න මං පියුම් හාමුගෙ අත් ගොබෙන් අල්ලගත්ත...

යසෝද...

බේබි හාමු....ඒකිලා වචනෙ නොදුන්නට ඔය තරම් අමනාපෙන්ද.....?

ය..සෝද...

නෑ හාමු...මං හාමු එක්කල තරහක් ගන්නෙ නෑ....ඒ උනාට ඒකිලා තවමත් කනවැන්දුමෙ රස්නෙ පිට ඉන්න ගෑනි....ඒකිගෙ තුන් හිතම පේවෙලා තිවුනෙ සමනට.....එහෙව් ගෑනිගෙ හිත තාම තියෙන්නෙ සමනා නැති උනත් සමනා ආදරෙන් පුරෝපු ඒකිගෙ මතක විමානෙ ඇතුලෙ....ඒකිලාට තාම හිත නැතුව ඇති හාමු....නැතුව හාමුලාගෙ වැරද්දක් නෙවෙ....

.......සමනගෙ මතකෙ ඔය තරම්ම මුල් බහින්න තරම් ඒකගෙ ආදරෙ තරම මට හිතාගන්ඩ පුලුවන් යසෝද...

හාමු....ඒකිලා නිදිකුම්බාවක්...මතක තැල්මන් ඒකිගෙ පපුව පුරාවටම අරක් අරගන රිදෙව්වත් ඒකිලා තවමත් පිටස්තර උනුහුමක් වදින තැන ඇකිලෙනවා .....ඒකමත් එක්තරා ලකුනක් පියුම් හාමු....දවසක ඒ නිදිකුම්බාව උඹලගෙ උනුහුමට ඇරුනම අනිත් හැම උනුහුමටම ඇකිලෙයි හාමු...ඉවසමු....මං දන්නවා...හිත හොද උඹලට වත්.....හිත හොද ඒකිලාට වත් වරදින් නෑ.....

හීන් ගමනනින වැටකඩුල්ල ගාවට ආව මං පියුම් හාමු දිහාව බලාගන ඉදලා සමනගෙ පැල දිහාව බැලුව....ඒකිලා ඉන්නව.....මැටිපිල්කඩ උඩ ඉදගන කොලු පැටියට කිරි දෙනව.....මයෙ අම්මට ඒකගෙ අම්මගෙ තනෙත් එක්ක වැඩ කෝටයයි.....අර ඇබිති අතෙන් එකිලාගෙ පපුවට තට්ටු බට්ටු දාන්ඩ...කිරි උගුරක් උරවලා මූන අහකට අරන් ඇස් කරකවන්ඩ..නොදරු කමට උනත් අම්ම ගැන අර ඇබිති හිතෙ පීදෙන් ආදරේට ලපටි අතෙන් අම්මගෙ මූන අතගාන්ඩ.....ආයමත් කකුලක් වන වන ඒකළාට තියන ඒකලාට තියන එකම නිදානෙ උන කිරි කදුල උරන්ඩ...

චන්දෝ....මා....බිලිදේ .....නුඹ...නාඩන්...

කිම්දෝ...කුමලත...නිරිඳුට...ඕ...ඕ...ඉතින්....ඇයි අප්පා මේ........මයෙ රත්තරම මනාප නෑ ...අම්මා කියනවට මනාප නෑ මයෙ සන්කොටෙ.....හා....රි...හාරි....අප්පුච්ක ආවම නලවන් නැතෑ...මදෑ අපෙ අම්ම...මේ මේකා මට නලවන්ඩ දෙන්නෙ නෑ...කට බෙරිකොරගන්නවා.....

ඕ.....උඹලා කට බෙරි කොරනවා නේන්නම්...දැන් ඉතින් බොලාට අම්මග්ව් තාලෙ හොද නෑලුනෙ....ඔ...ඔව්.......මයෙ පුතාට බෙනෙ අප්පුච්චගෙ තාලෙ විතරයි ඕනා.....හා...හා...අම්මා ආය කියන් නෑ...නාඩපල්ලා...මේකා වගේ එකෙක් බලාපල්ලකො...හපොච්චියේ.....

මගෙ පපු කදම පීතෲ ස්නේහයෙන් බරවෙලා ගියා....සමනගෙ ගෑනිගෙ කතාව හරියටම හරි....ගරුඩෙක් කාපු දාක නොදරුවව පයින්ම ඉස්පිරිතාලෙට උස්සාන දුවපු දාක මයෙ සුදු මහත්තයා ඉස් ඉස්සරෝම කියාපු නැලවිල්ල....එදා ඉදන් රාසින් පැටියට කියවුන නැලවිල්ල සින්න උනේම මගෙ දරුවට වෙනකොට ඒකට කාගෙ තාලෙටත් වඩා මගෙ මේ ගොරහැඩි කටහඩ අල්ලා තියනකොට අරකිලා කිරිදෙන ගමං වචනයයි දෙකයි කිව්වෙ නොදරුවා කෙදිරි ගාලා ගාලා ඔහෑ....ඔහෑ ගෑවා.....

නැලවිලි කවි අහවරයි...

මැටිපිල්කඩ උඩ ඉදන් උන්න ප්‍රේමා අඩාගන ආව කොලුවව පරක් කරගත්තා....අහුවෙන අහුවෙන කිරිකොස් ගෙඩියත් කිරි උනන්න යහපතයි කියන ජාති කොහෙන් හරි හොයාගන හරි ගිහින් දුන්න හන්දද මන්දා අනෙ දෙයියන්ගෙ පිහිටෙන් මයෙ කොල්ලගෙ බඩට වැටෙන්න ඒකිලාට කිරිකදුලක් ඉනුවා.....

පැලැස්තර ගහල වත් ආය හා කරන්න බැරි හදවත් පැල්මන් දරාගන ,තැන් තැන් කට ඇරුන කටුමැටි බිත්තියට පිටදීගන උන්න ඒකිලා නොදරුවගෙ ඔලුව අත ගගා හීන් සීරුවට තට්ටමකට තට්ටු කර කරම ආයමත් හොර හොර හොරාවට කොලු පැටියට මොන මොනවද මුමුන මුමුන හිනා උනා...

මේක පුදුමාකාර ආදරෙ හිතෙන චිත්‍රයක් බන්.....ඒකි හිනා වෙනකොට පින්තූරයක් වගේ යසෝද!!මට ඒකිල ගැන ආදරයක් මිසක්....ස්නෙහයක් මිසක් අබමල් රේනුවක තරම් කිලිට්ටක් හිතිලා නෑ බන්.....උඹලා කිව්වා වගේම.....දවසක ඒකිලා මගෙ උනුහුමත් අදුනයි යසෝද....

මාත් පියුම් හාමුත් තවම වැට ගාව...වෙනදා වගේමයි පන අද්ද අද්ද ඉදලා මං කකුල් කඩිත්තුව අල්ලන කම්ම ඉස්පිරිතාල ගානෙ බඩගාලා බඩගාලා අරන් ආව බේත් පෙත්තෙන් ආපිට පන ගහන් ඔලුව උස්සපු සමනගෙ තාත්තා අනන්තයක් නැති කල්පනාවක ගිලීගන අර ලී වන්ගෙඩිය තුරුල් කරගන බුලත් කොටනවා..

කුසිය දිහාවින් කාන්දුවෙන කුරහන් රොටියක පුලුටු පුසුඹ උඩු හුලන් අතත් එක්ක පිටගම් යනකොට පිල්කඩ උන්න ප්‍රේම දිහා බලාගන උන්න පියුම් හාමු ඒකිලාගෙන් ඇස් අහකට නොගෙනම ඒකිලා ගැන ඒ හිතේ තියන ආදරේ අකුරු කෙරුවත් එක්කම ප්‍රේමා එකපාරම වැට කඩුල්ල දිහා බැලුවා....

මෙච්චර වෙලාම අර මූනම වහගත්ත හිනාව ඉර දැකපු පිනි බිදකටත් වඩා වේගෙන් අතුරුදන් වෙලා යනවත් එක්කම අනෙ නොදරුවා උර උරා උන්න තනත් ඒකි ආපිට ගවුම් කරින් ඇතුලට ඔබාගත්තා අනෙ මයෙ කොල්ලා කැහැ කැහැම හූ තිබ්බා....

නිවන්....

හාමුවත් දාලම වැටකඩුල්ල පැන්න මං අඩියට දෙකට සමනගෙ පැලට යනවත් එක්කම

හැන්දෑ යාමෙ ගහන් යන හුලන් රැල්ලත් එක්ක රූස්ස ගහෙ මුදුනින් , උපන්දා ඉදන් වැහි බිදක හැඩක් නොදැකම අඩමානෙට වේලුම් කාගන අකාලෙ මලගම් යන කොලයක් දෙකක් ඒකිලා රටා තියලා අතුගාපු පොලවට වැටිලා ගියා....ඒ කොල මගෙ පයට පෑහිලා පොඩිවෙලා ගියා...

මයෙ අම්මා අඩනවා.....මක්කද උඹලා ඒ ප්‍රේමා කරාපු වැඩේ.....

බ්..බෙනෙ අයියෙ....

ඔයාකාර ලැජ්ජා නම් තනට උඩින් මක්කවත් එලාන වහන් කොරගන්ඩ එපෑය...බලපන් කොල්ල ගැස්සුනානෙ.....මෝඩ ගෑනි...මයෙ අම්මා එදත් කිව්වනෙ නොදරුවො බය උනහම කිරි පිට උගුරෙ යනවා කියලා...

න්..නෑ...නෑ....බෙනෙ අයියෙ එහෙම දෙයක් නෙවෙ....

එහෙනම්....කොහොම දෙයක්ද...බොලාගෙ කිරිකදුලට ඇස්වහ කටවහ තියන එවුන් මෙහෙ නෑ..ඇරත් අම්මෙක් කිරි දෙනකොට මොන පරට්ටයටද ඒක නරකැහින් බලන්නෙ....මෝඩ ගෑනි.....බලපන් කොලුවට කැස්ස ඇල්ලුවා.....බලන්ඩම තනනෙ!

දෙපාරක්....දෙපාරක් මං පිට පිටම ප්‍රේමට මෝඩ ගෑනි කිව්වා...ඒකිලා කරාපු නොහොබිනා වැඩෙත් එක්ක යසා අගේට උන්න මයෙ කොල්ලට කැස්ස ඇල්ලුවත් හරි කොයිවෙලෙත් නිවිලා ඉන්න මාව යන්තමට වගේ ඇවිලීගන ආව විතරයි උකුලෙ උන්න කොලු පැංචව උදුරන් ඒකගෙ පිට පොඩිය අත ගගා පිටට තට්ටු කර කර ආඩපාලි කිය කිය අඩාගන ආව නොදරුවව පරක් කෙරුවා...අනෙ එ ඩින්ගෙන් නොදරුවා මයෙ උරපත්තට කිරිවමනෙ හැලුවා.....

බෙනේ අයියෙ ...

මෝඩ වැඩ කරන්ඩ එපා නගා...බලාපන් මේකටනෙ අමාරුව...උඹලට මං දෙස් තියනවා නෙවෙ .....

...........

කොලුවගෙ කැස්ස අහවර උනා...ඇඩිල්ලත් අහවර උනා....උරිස්ස උඩම සිනි ගද ගස්සවන කිරි වමනෙ අහුර ඒකිලා ඉනට පටලාන උන්න චීත්තපටින්ම පිහදිලා යද්දි පියුම් හාමු තවමත් වැටකඩුල්ල ගාව වෙනකොට මං බලාගන ප්‍රේම ඒ දිහා බලලා මුලු ගැන්නෙනවා.....

ප්‍රේමා.....නගා....මට අම්මත් එක්ක කතා කරන්ඩ ඕන....

බෙනෙ අයියා පැලට වැදුනෙ අර මහත්තයගෙ පයින්ඩවලටද....ඒක එහෙම නම්....මයෙ උත්තරෙ නෑ කියන එක අයියෙ....ඔව්වා කදුලු බොන්ඩ වෙන වැඩ....

එක තත්පරේට ඇවිලුන මමම එක තත්පරෙන් නිවිලා ගියා ....පුරුදු විදිහටම තනි අතෙන් වඩාගන උන්න කොලු පැන්චා ඒකගෙ දත් නැති කිරිසුවද ගහන කටින් මගෙ උරිස්ස හප හප කෙලවලින් නාවනකොට මං ප්‍රේමට මගුල් තුලාවෙ වගතුග නොකියා කියනකොටම ඒකි ගත්ත කටටම බෑ කිව්වා.....

තත්පරයක් දෙකක් ඒකිගෙ මුන දිහාව බලන් උන්න මං අනිත් පාර ඒකිගෙ ඉහ මුදුන අත ගෑවා...

උඹලට වරදක් වෙනදෙයක් මං කවදාවත් කියන්නෙ නෑ නගා.....

මේවා අහසට පොලව වගේ බෙනේ අයියෙ....නුවර වලව්පැලැන්තියෙ කියන්නෙ අපි වගෙ එවුන්ට පෑහෙන්ඩ පුලුවන්ද...හදට ආදරෙ කෙරුවට කාරි නෑ .....අයිතිකම් පාන්ඩ නොයා.....ඒකෙන් වෙන්නෙ ආය ගොඩ ගන්ඩ බැරිවෙන්ඩ ඇට බිදගන මහපොලවට වැටෙන එක.....මං කනවැන්දුමී....දරුපැටියෙක් ඉන්නවා....

ඉතින්....කනවැන්දුම් කියල උන් කනවැන්දුමෙන්ම මැරෙන්ඩ ඕනද ප්‍රේමා???

බ්..බේබි....හාමු.....

දරු පැටියෙක් ඉන්නවා කියල මටත් ඇස් පේනවා...පොට්ට නෙවෙනෙ.....ඒ දැක දැක තමයි මං උඹට ආදරෙ කරන්නෙ ....

හාමු උඹලා අපි පෑහෙන්නෙ නෑ හාමු....හාමුල වලව් පැළැන්තිය...උඩරට වලව් කාරයො කියන්නෙ නිකන්ද හාමු....අපි කව්ද...කොයිවෙලේ කොහොම හුස්ම යයිද හිත හිත කාටක අව්වෙ කර වෙවී මහපොලව එක්ක ඔට්ටු වෙන අසරන මිනිස්සු ...

ප්‍රේමට විකාර....වලව්ව මගෙ ඉහ උඩද ??හාමු කියල මගෙ නලලෙ කොටලද ..ඇරත් මොකාද ප්‍රේමා කිව්වෙ වලව් කාරයො මැරෙන් නෑය කියලා....

.....අනෙ මට මෙහෙම කරන්ඩ එපා හාමු.....එක දුකක් උහුලලා අහවර කරගන්ඩ බැරිව ඉන්න මට තව දුකක් එක්කාසු කරන්ඩ එපා හාමු පින් අයිති වෙයි.....

මං උඹව ඇහෙ තියන් රකින්නම් ප්‍රේමා...මැරෙන්නෙ කොයි මොහොතද කියන්න කවුරුත් දන්නෙ නෑ....එත් එහෙමයි කියලා හූල්ලගනම මැරෙන්ඩයි කියලා කවුරුත් කියලා නෑ...මං උඹලගෙ පස්ස පාරෙ එනව අහවරක් නෑ...

ප්‍රේමා....එක වතාවක්...මං මෙච්චර විස්වාසෙන් කියනවා නම් දුකක් දෙන්නෙ නෑය කියලා එක වතාවක්...මං අවුරුදු දහ අටක විස්සක පොඩි එකෙක් නෙවෙ ප්‍රේමා....මං...මං තවම හිරිමල් වයසෙ ඉන්න ගැටවර කොල්ලෙක් නෙවෙ...මට මගෙ ජීවිතේ ගැන තීන්දු තීරන ගන්න අයිතිය තියනවා....ප්‍රේමා...මං උඹට වඩා දහ අවුරුද්දකටත් වැඩිමල්....මං ගාව බොලද කතා නෑ.....

තේරුම් ගනින්කො.....ඉර දෙන්නන් හද දෙන්නම් කියන්නෙ නෑ මැනිකෙ.....මං උඹට ජීවිතෙ දෙන්නම්....

....

රජකමට පයින් ඇනපු එවුන් පැල්පත් වල ලැග්ගා නම්....වලව් මාන්නෙට පයින් ඇනලා මේ පැලට එන්න මේ.පිරිමි හිත දෙපාරක් හිතන් නෑ.....

.

දරුපැටියව වඩාගන උන්න මන් හීන් සීරුවට අහකට උනා..මෙච්චර වෙලාම ආවේගෙන් ආවේගෙන් කියවගත්ත පියුම් හාමුත් ප්‍රේමත් හීන් සිරූවට් නිවීගන නිවීගන එනකොට සුවපහසුව ගේන මටසිළිටු රෙදි වලින් තනාපු සුවයහනක් නොවුනත් අප්පෙක්ගෙ ආදරෙ වාන් දාන මයෙ ලෑල්ල ගැහුන කටු පෑදුන පපු තොටිල්ලෙ ගුලිවෙලා නිදා වැටෙන නොදරුවත් අරගන මං උන්ට නොදැනෙන්න කුසිය දිහාවට ආවා....

ඒත් අඩි දෙකතුනක් ආව මං ඇස් දෙකත් හීන් කරන් ආපිට හැරිලා පියුම් හාමු දිහා නෝක්කාඩුවෙන් වගේ බලාගන උන්නා...

යසයි උඹ....අවුරුදු විස්සෙ පොඩි එකා කිව්වෙ මට වෙන්න ඇති නෙ.....අනේ හාමු තෝ කොටියම කාපිය!!!!

ඇයි මං අර මහ තැනට දෙන ආදරෙ ලාබාලද.....ආ දෙන්කො ඒ නාඩගමත්....මේ යසෝදගෙ හැටි දන්නෙ නෑ....

*

*

*

සමනගෙ අම්මෙ.....

කැහ්...කැ....හ්....අ..ආ....බෙනා

කොලුවා....

නෝක්කාඩු බැල්මන් හෙලුවට මොකද....ඒ තත්පරෙන් මගෙ මුනට හිනා මල් මෝදු උනා...අනෙ තෝ කොටියම කාපිය කිව්වට මොකද ඉහලට ගත්ත හුස්ම පහලට දාන්ඩ කලියෙන් අනෙ මයෙ තුන් හිතම පියුම් හාමු වෙනුවෙන් සෙත් පැතුවා...

මං කොහොමදැයි දෙයියා කුරා කූඹියෙක්ට වත් වින කරන්නෙ...?

දරුවත් තුරුල් කරගත්ත මං ඒකගෙ ඇබිති තට්ටමට තට්ටු කරන ගමන් සමනගෙ අල්ලි දෙකෙ කුසියට එබුනා...

හුඹස් මැටි ගහලා...මැටි ගහලා හදාපු ලිපෙ ගිනියම මුලු කුසියම ගල් පෝරනයක් වගෙ රත් කරනකොට මං බලාගන සමනගෙ අම්මා දුම් කාගන රොටියක් වඩනවා....ගිනියම් උන කබල උඩට වැටුන රොටියත් රොටිය වඩාපු කැන්දකොලෙත් පුසුඹ දීගන පිච්චෙන කොට මං බලාන තවත් ලිග් ගල් තුනක් උඩ තිවුන මැටි වලද ගොජ ගොජ ගානවා...

ලිප් රස්නෙ හන්දා කොල්ලව අරගන කුසියට යන්ඩත් බැරි මම දොරකොඩ ඉදම්ම බෙල්ල දාලා සමනගෙ අම්මට කතා කෙරුව විතරයි උන්දෑ පොල්කොල දුමෙ සැරටම ඇහැකුත් වහගන මයෙ දිහා බැලුවා....

උඹලා දුම් කාගන වැඩනෙ...

මේන් අප්පුච්චට කුරහන් රොටියක් හදනව බන් කොල්ලා.....

රොටියි මොනාද....?උඹල පුච්චපු මිරිස් කරල් දාලා ලුනුමිරිසක් අඹරනවද සමනගෙ අම්මෙ?

බුලත් චප්පෙ කාලා...කාලම ඒකගෙ දිවෙ රහ අංකූර මැරිලයි කියන්නෙ ඕන්.....බත් නෑඹිලිය දුන්නම කොච්චරවාත් ලුනු ඉහගන්නවා....තියන අමාරු මදිවට මේකලා දැන් පිත පලාගන්නවා බන්...

ම්න්....

ආන්...කන්කුරා මෙහෙට්ට ආවෙලේ දඩමස් කෑල්ලක් දීලා ගියා...

කන්කුරා....???ඒකා ලබ්බ කරන්ඩද මෙහෙ ආවෙ?

කොලුවව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්න මං පිස්සිගෙ පලාමල්ලට අන්ත ව අවුල් වෙලා ගියපු සමනගෙ අම්මගෙ කොන්ඩෙත් හැට්ට කර හොකරෙට පූට්ටු කරන් කටුගහපු හැට්ටෙත් පඩංගුපාට ගත්ත චීත්තපට දිහාවත් උන්දැගෙ සර්ව සර්වාංගෙම දිහා බලාගන ඉන්න ගමන් ඒ කියන කියන දේට කන් දීගන ඉදලා ඉදල ලිපෙ ගොජ ගොජ ගාන දඩමසෙ වගතුග කිව්වා විතරයි දුම කාගනම කුසිය ඇතුලට ගියා.....

ආ බන් අම්මෙ....අරකා ලබ්බටද මෙහෙ ආවෙ කියපන්?

මං දෙවනි වතාවත් සමනගෙ අම්ම දිහා බලාගන ඒකා ලබ්බටද අහන්නෙ අහනකොට රොටි වැඩිල්ල පැත්තකින් තියපු උන්දා අනිත් පාර හැන්දක් වත් නැතුවම අර කර වෙන රොට්ය අතෙන් අනිත් පැත්ත් හරවලා කබල උඩ අගුරු උන කැන්දකොල රොඩු ටික අහකට කරලා ගොජ ගොජ ගාන හොද්දට පොල්කටු හැන්දක් දාලා සීරුවට කූරු ගෑවා...

ඉදල්ලා...කෑල්ලක් කාලා බලලා රහගුන කියපන්කො...

මට ඕන මසක් නෑ....උඹගෙන් මන් දැන් දෙවන්ගියක්ම ඇහුවනෙ.....මක්කටද ඒකා ආවෙ කියලා...?උඹ හදන්නෙ නම් අහක යන නයෙක්‍ට හුඹහ පෙන්නන්ඩ තමයි සමනගෙ අම්මෙ...

ඒකා ආවෙ වෙන මගුලකට නෙවෙ බෙනා....

එහෙනම්....

ගස් ලබු ගැටයක් තියෙනවද අහන්ඩ....කෝ අත අල්ලපන්....හොද්දෙ ලුනුවත් බලපන්කො...උඹව තවත් ඇදිලා ගිහිල්ලා...හකුත් බැහැල...උඹට නින්දක් ඇත්තෙම් නෑ මයෙ කොල්ලා...ඔය හේන් කෙරුවාව ඕන් නැ....තියන හැටියට කාලා ඉන්නවා..නැත්තන් මැරිල යනවා.....

ගස් ලබු ගැට...??ඒ අහවල් කාරියටද?

හේන කරන්නෙ මමනෙ ...උඹ නෙවෙනෙ නැහෙන් නැතුව ඉදින්කො...ඇරත් ඕක පුරන් වෙලා ගියහම ආයම ගොඩ දාගන්ඩ නැහෙන්ඩ ඕන....මේකා හැමදාම මෙහෙම ඉන්නවද....?කොල්ලට අනාගතයක් තියෙන්ඩ ඕන....මට බෑ ගන්න කිරි හැන්ද හරි මිනිකපල අරගන්න තුට්ටුවෙන් අරන් දෙන්ඩ...

කන්කුරා ආවෙ ගස්ලබු ගැටයක් හොයන්ඩයි කියපු සමනගෙ අම්මා අනිත්පාර මගෙ අත බලෙන්ම වගෙ අරගන පොල්කටු හැන්දට පිඹලා ඉස්ම ටිකක් අරන් මගෙ අල්ලට හලන ගමං උඹව ඇදිලා ගිහින් කියනකොට උන්දැ කියපු අනිත් කාරනාවලටත් ආඩපාලි තියාගනම මන් අල්ලට වැටුන ගුරුපාටත් තද රතුපාටත් ගත්ත හොදි ඉස්මෙ ලුනුරහ බැලුවා....

ලුනු.....ඩින්ගිත්තක් ආවා නම් පන්කාදුයි ...

ඕන්...උඹලත් ගිහින් ඔය දිව පොල්මුඩ්ඩකින් වත් මැදගනින් බෙනා...රැ එලිවෙනකනුත් උඹගෙ කාරිය චප්පෙ ගිලින එක...ඔයාකාර හුනු දුංකොළ කාලා උඹගෙ දිව ගොරෑඩි වෙයි...

ම්න්...මොනවද මස සමනගෙ අම්මෙ....

ගෝන...

ගෝන ???

අද උදෙ බිදුන වෙඩිල්ලෙ උන්නයි

කියන්නෙ.....

මං නෙවෙ ඉන් එහා වචනයක් කිව්වෙ..මට ඒකට පව්කාරයා කියන්ඩත් බෑ...නොකියත් බැ....කාලත් බෑ...නොකාත් බෑ....ඉදහිටක ගම් කුකුල් මස් කෑල්ලක් රහ බලනවා ඇරුනම මලකදන් කපලා කපලම මට මසුත් අරහන් වෙලා තියනකොට මැටි ඇතිලියෙ නටන මස් කෑලි දිහා බලාන ඉදලා එහෙම්ම එලියට ඇවිදින් පිල් කඩ උඩ ඉදගන කොල්ලව හරහට අරගත්තා.....

මයෙ පැටියට නින්ද ගිහින්...

ඇබිත්තන් රත්තරන් පෙත්ත උනත් අනේ පංචායුදෙන් ඒකව දිස්නෙ ගහනවා...

මේකා නම් සමනා ආය ඉපදිලා වගේ...

ඒම නහය කට....ඒම කොන්ඩෙ....සමනවම අඹලා.....

හදිසි නොවි ඩින්ග ඩින්ග ලොකු වෙයන් මයෙ පුතෙ.....උඹලා ලොකු උනහම මේ අප්පුච්චා උඹලව කරෙ තියාන මේ ගම් තුලානෙම රෝන්ද ගහන්නම්...

උඹලගෙ අත්තම්මා අප්පුච්චට හේන් කෙරුවාව එපා කියනවා.....ඒත් මයෙ කොල්ලා උඹ නම් මන් වගේ මේ ගමෙ එකාලා ඉස්සරහා අසරන වෙන්ඩ මං ඉඩක් තියන් නෑ නිවන්...

උඹලට මන් මිනි කපලා කන්ඩ දෙන්නෙ නෑ...මේ අතපය ගෙවිලා මාව දර ඉපලක් උනත් කාරි නෑ....මන් මහපොලව එක්ක හරි හරියට ඔට්ටු වෙලා උඹව ලොකු කරන්නම්....දවසක මෙහාටත් වහීවි පුතේ...

කොල්ල දිහා බලාගන උන්න මන් එ ඇබිත්තන් මූන පුරවලම හාදුවක් තිබ්බා...අනෙ මයෙ රැවුල ඇනිලදො පැංචා කෙදිරි ගෑවා....

කන්කුරා ගස්ලබු ගැටයක් හොයාන ආවලු....

මෙච්චර වෙලාම ලමයගෙ මූන දිහාව බලාන උන්න මං අනිත් පාර සමන ගස්ලබු ගැට හොයන්ඩ ආව කාරනාව කල්පනා කෙරුවා.....ඒ තත්පරෙන්ම මගෙ උගුර කට වේලිලා ගියා....ඒ ටිකකින්ම මට සුද්දිගෙ කෙල්ලව මතක් උනා....

මේකා ඒ පාර මොන පවුකාර කම කරලද.....ගස්ලබු ගැට හොයන්ඩ මොකො සින්හල අච්චාරු දාන්ඩ මේක අවුරුදු කාලෙද.....???

මන්දා සුද්දි උඹ අර කෙල්ලව කබෙල් ලිපට වැට්ටුවා මදිවට ලිපෙන් අපායකට දැම්මද බන්.....???

කුසියත් පහු කරගන මූකලන් උන පිටිපස්සෙ කෑල්ලෙ තිබුන ගස්ලබු ගහ දිහාව බලාගන උන්න මං දහසක් දේවල් කල්පනා කෙරුවා...

හිතන්න ඕන පරාසෙ මොනතරම් ලොකු උනත් අවසානෙදි මං අනුන්වෙනුවෙන් දුක් ගන්නාරාල වෙන එකට තිතක් තිබ්බා....

උන් උන් හිතුමනාපෙට කරන පව් වලට මං මොකට හූල්ලනවද....???

සමනගෙ අම්මෙ....නොදරුවට නින්ද ගියා....මං මේකා තොටිල්ලෙ දාලා එහෙම්ම යනවා....

හිටින් ඔහොම...බත් ගෙඩියක් බදිනකන්...

නැතුවට කාරි නෑ.....මට දැන් මසත් අපුලයි...

බලකරවල කෑල්ලක් හම්බුනා බෙනා....උඹලටම කියලා මං ඒක පේවෙලා වගේ හින්දුවා බන්....අරන් යමන්.....බලකරවල කෑල්ල පන්කාදුයි....පොල් අහුරකුත් තියනවා....

කරවල?

හ්ම්ම්ම්.....හැන්දැ ජාමෙ පොලේ ගිහින් අරන් ආවෙ...කීය ගියත් කාරි නෑ මට ඒක ගන්ඩම ඕන උනා බන්....මටයි කියලා ආය කවුද ඉන්නෙ....මයෙ කොල්ලො දෙන්නම යුද්දෙට සින්න උනා.....එදා ඉදන් උඹලා රෑ දවල් නොබලා මේ ගෙදර උන් වෙනුවෙන් නිදිමරනවා.....අරන් යමන්....

මට උඹ දකින වාරයක් ගානෙම් මයෙ කොල්ලා මතක් වෙනවා...අනෙ මයෙ අම්ම ඉන්න තැනක ඉදන් උඹලා දිහාව බලාගන ඇති බෙනා.....උඹල ඔය නහින නැහිල්ලට උඹ දවසක දිනන්ඩම ඕන.....උඹලගෙ ඔය අත්වලට යෝද බල යෝධ හම්බෙන්න ඕන බන්....නිදි පැදුරට ගිහිනුත් මං උඹලට පින් දෙනවා බෙනා....

ඕන් ඉතින් අඩන්න තියාගත්තා....දියලා...දියල්ලා...මං හැමදාම කියනවා මං මේව කරන්නෙ පින් බලාගන නෙවෙ කියල...දියල්ලකො....

ලිප පුරවලා එලියට දාන පොල්කොල දුමෙන් අර බොරපාට ඇස් වල බොරෙ වැඩි වෙලා මදිවට ඒ ඇස්වලට කදුලු උනනවත් එක්කම ඒ ඇස් තවත් රතු උනා....

හීන් සීරුවට ගෙට අඩිය තියාපු මං මයෙ තුරුල්ලෙ උන්න මයෙ පන ටිකව සමනල පැටියෙක් මල් පෙත්තක් උඩින් තියනවටත් වඩා පරිස්සමට තියලා රෙද්දකින් පොරවලා සමනගෙ අම්මගෙ අතින් බත් ගෙඩියත් ඉල්ලන් එලියට ආවා....

පියුම් හාමු හිනා වෙනවා.....

මල ඉරත් බැහැන් ගිහින් මුලු හැන්දෑ ආකාහෙම ලා රෝසපාටක් ගන්නකොට පුරුදු විදිහටම මැටිපිලම එලිය කරගන කුප්පි ලාම්පුව ඇවිලෙනකොට මං බලගන පිල්කඩ උඩ සමාන්තරද ඉදගන උන්න පියුම් හාමු ප්‍රේමා දිහාව බලාගන ලාවට හිනා වෙනවා....

කුප්පි ලාම්පුවෙ එලිය අයිතිකරගන තිවුනෙ මැටිපිලම විතරක්ම නෙවෙ වෙනකොට මං බලගන ඒ ලා රත ප්‍රේඅගෙ මූනටත් වැටිලා තිවුනා...මෙච්චර කාලෙකට අරලියාවන් පිපුන ඒකිලාගෙ සොහොන් පපුව මැද රෝස පොහොට්ටු පෙති ගහනවා මං සජීවීව දැක්කා

නිරිතදිගින් එන ප්‍රේම හුලන් කැරැල්ල උන්ගෙ ආත්මවලට තව තවත් අනග හැගුම් කාවදන් යනකොට ඒ දිහා බලාගන උන්න මං අවසානෙදි ගෙයි ඇතුලෙ මැටි බිත්තියෙ එල්ලලා තිබුන සමනගෙ පින්තූරෙ එක්ක හිනා උනා...

" උඹට සමාදානෙන් සැතපෙන්න පුලුවන් සමනා....."

මං එන්න ආවා....

ප්‍රේමලෝකෙ ගිලීගන උන්න පියුම් හාමුට වත් ප්‍රේමට වත් හුස්මකින් වත්කරදර නොකරපු මං තවමත් රූස්ස ගහ පාමුල ඉදන් චීත්තපටකින් දෙවුර පොරවාගන ඉර රැස් නිවුන හදරැස් වලින් නෑවෙන්න මගබලාන ඉන්න ආකාගෙ දිහාව බලාගන තට්ට තනියෙන් මුමුනන සමනගෙ අප්පච්චි ගෙ මූන දිහාව බලාගනම වැටකඩුල්ල පැනන් එන්න ආවා....

යසෝද...

යසෝද මලයා....

ඔහොම ඉන්ඩෝ....

යසෝද.....

අඩි පහ දහයක් එන්න ඇති ....යන්නම් වත් නොකියම වැටකඩුල්ල පැනපු මන් එන්න එනවත් එක්කම මේ ගොම්මනේම මට පියුම් හාමුගෙ බෙරියම ඇහුනා.....

පියුන් හාමු මගෙ නම කියකිය සරමත් අත් දෙකෙම්ම උස්සන් මගෙ පස්ස පාරෙ දූවගන එනවා...මටත් යාරයක් ඉස්සරහින් උන්න කලුවා ආපිට මගෙ ගාවට දූවගන ඇවිදින් මගෙ මුන දිහාවත් දූවගන එන හාමුගෙ මූන දිහාවත් බල බල අඩමානෙට නගුට වනනවා.....

පියුම් හාමු....

ඔහොම හිටින්ඩලාකො...හරි කෙලිය තමයි...මාව දාලා ආවෙ ඇයි

........?

යන්....අද මාත් එනවා පැල් රකින්ඩ.....

ම්..මොකක්????පැල් රකින්ඩ??

ම්ම්ම්...ඔව්....මාත් එනවා අද පැල් රකින්ඩ....

හාමුට පුලුවනෑ ඔව්වා කරන්ඩ.....මදුරුවො එකාකාරෙට...ඇරත් ගුරු හාමිනෙ දැනගත්තොත් මාවත් එක්ක උල තියයි පියුම් හාමු...

ආ.....යස නාට්ටිය තමයි....ඒකි මොකටද යසෝදව උල තියන්නෙ.....??අනික මමත් මේවා පුරුදු වෙන්ඩ එපැයිනෙ....යසෝදට විතරක් හැමදාම පැල් රකින්ඩ පුලුවනෑ...මාත් එනවා.....අනෙ අම්මො....මෙයාට විතරයි බත් දීලා තියෙන්නෙ.....මාත් පැල් රකිනවනෙ...කෝ මට??

ආ....මේක ගන්ඩ...

එතකොට යසෝදට.....

මං ගෙදරින් කන්නම්....

මන් නෙවෙ ආය තරක් කරන්ඩ ගියෙ.....කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි කියනවලු...

පියුම් හාමු හිතන් ඉන්නෙ පැල් රැකිල්ල කජු කනවා වගේ වැඩක් කියලා වෙද්දි නිදි නැති රෑත්තිරියෙ කටුක කම කොහොම කියන්න හැදුවත් මට සිද්ද උනේ අවසානෙදි අකුරු කරන්න බැරි දරදඩු හුස්මක් පිට කරලා සමනගෙ අම්මා මටම කියාල බැදලා දුන්න බත් ගෙඩිය පියුම් හාමුට දිහාට දික් කරන එක .....

මේකෙ සුවද දෙයියනෙ...ශුවර් ශොට්...මේකෙ අනිවාර්යයෙන්ම කරවල බැදුමක් තියනවා.....එහෙම නේ....

ම්න්....

මට පව් කියලා හිතුනා....කොච්චර උනත් පියුම් හාමුගෙ මේ හැසිරීම් එක්ක මට හාමු ගැන පව් කියලා හිතුනා...අර බත් ගෙඩිය දෑතින්ම බදාගන ඒක ඉව කරපු හාමු තැන අනිත් පාර ඒකත් බදාගනම පාර පුරාවටම තියන ගල්මුල් වලට පයින් ඇන ඇන ආයම කියවන ගත්‍තා...

පැල් රැකිල්ල කෙසේ වෙතත් හෙට එලිවෙනකොට නම් මයෙ කන් බීරිවෙලා තියේවි.....

යසෝද....

ම්න්...

හෙට මොකද කරන්නෙ...අපෙ හාදයව එක්ක එන්ඩ යනවද....

මෙච්චර වෙලාම නෝකාඩු වලාවන් අරක් ගත්ත මයෙ මූන පුරාවටම ආයමත් වතාවක් හිනාමල් පිපෙන්න ගත්තා .හෙට මගෙ ආකාස හාමු එනවලු...හිතාන උන්නෙම දහයෙ කනිසම අහන ගමන් මගෙ හාමු තැන ගැන හිත හිත රෑ තුන්යම ගෙවෙනකන් ඇගිලි ගනින්න....ඒත් අද රෑට මගෙ පැලට තවත් එකෙක් ගොඩ වෙනකොට කොහෙ කියලා නම් මං හීන මවන්නද...

ඔව් බේබි හාමු ..මං සුදු මහත්තයව උදෙම්ම එක්ක එන්ඩ යනවා....

ඒ ගිහින්.....ඕකව දුම්මල ගහලවත් යසෝදට එලවගන්ඩ බැරිවෙයි...යසෝදට වැඩක් වත් කරගන්ඩ ඉඩක් නැතිවෙයි....යසෝදට ඒ ඇරෙන්න වෙන ව්ශේශ දෙයක් තියනවද.....?

පියුම් හාමු මගෙන් අහනවා හෙට විශේශ දෙයක් තියනවද කියලා...මහ දෙයක් නැති උනත් අනෙ මට මතක් උනා දැන් දවස් ගානක් තිස්සෙ ඉදන් පන්සලට යන්න ඕනයි කිය කිය ඇගිලි ගැන ගැන ඉන්න මයෙ අම්මව...

කැඩුන ලිප් කන්දත් කුසියෙ කඩා වැටිගන එන බිත්තිත් අත ගගා උන්න උන්දැ දවල් වරුවම හුඹස් මැටි ටිකක් කපන්ඩ ඕන කියපු කතාව මතක් උනා.....

ඔව් බේබි හාමු...හෙට දවාලෙ නම් මට වැඩක් තියනවා....

කොහෙද.....?.

ගෙදර....මයෙ අම්මා දවස් ගානක ඉදන් දැන් පන්සලට යන්ඩයි කියලා තෙල් කාලක් එක්ක හදුන් කූරු දෙකතුනක් අරන් තියාන ඉන්නවා.....ඒත් දවස ගානෙම එක එක දේවල් එක්ක උන්දැට පන්සල මගෑරෙනවා...දවලෙ ඉදන් ඕන් කැඩුන ලිපත් ආයමත් දිරාගන එන කුස්සියෙ බිත්ති කෑල්ලත් ගැන කම්පා වෙනවා....හෙට දවාලට පහල කෑල්ලෙ හුඹහක් තියනවා කපාගන එන්ඩ යන්ඩ ඕනා...

....හුඹහක්?

හ්ම්...මැට්ට ගන්ඩ...මයෙ අම්මට ඔව්වා එක්ක ඔට්ටු වෙන්ඩ හයිය නෑ...ඇරත් ඔය අත් ඔයාකාර මහන්සි වෙන්ඩ හොද නෑ.....නොදරුවන්ව අල්ලන අත්...ඔයාකාර මහන්සි උනොත් ඒ අත්වලින් කොහොමද හාමු වින්නඹුකම් කරන්නෙ...?

.......

මායි පියුම් හාමුයි උන්නෙ සමාන්තර රෙඛාවක...අපි දෙන්නටම ඉස්සරහින් යන කලුවා...ඒකගෙ වැඩේම අන්ඩ උස්ස උස්ස සියවතාවක් විතර තැන් තැන්වල හුජ්ජ කරන එක.....

බිම් කලුවර වැටෙන්න වැටෙන්න පය ඉක්මන් කරාපු මං පියුම් හාමුට උත්තර බැන්දා....

ඒකියන්නෙ යසෝද හෙට කුසිය හදන්ඩද කල්පනාව...

ඔව් හාමු.....පියුම් හාමු අහල තියනවද කතාවක් අම්මලා නැහුනෙම වදාපු පුත්තුන්ව රජුන් කරන්ඩයි කියලා....

.......හ්ම්.....

එතකොට අහලා තියනවද පුත්තුත් හැම අම්මෙක්ටම කියනවා මගෙ අම්මා බුදු වෙන්න ඕනයි කියලා....

හ්ම්...අහල තියනවා

බේබි හාමු එත් මේ සංසාරෙ රජ උන පුත්තු අනන්ත අප්‍රමාන දැක්කත් උඹලා බුදු උන අම්මෙක්ව කොහෙදිවත් දැකල තියනවද හාමු?

.....යසෝද.....

මට රජවෙන්න ඕන නෑ හාමු ...මට ඕන මගෙ අම්මට බුදුවෙන්න වෙලාවක් හදලා දෙන්න.....බැදීම් හන්දම වගකීම් හන්දම උන්දෑ නැහුනොත් කෝ උන්දැට බුදුවෙන්න වෙලාවක් හාමු???

*

*

*

ඔබ ඇපල් මලක් වාගෙ.....ලස්සන වසන්ත කාලෙ....මගෙ අම්මෙ.....යසෝද මලයා.....මේකෙ ඉන්න මදුරුවො ගොඩ....ශිහ්..දන්නවා නම් මං තව බෙඩ්ශීට් එකක් අරන් එනවා..කොහෙද මං ජනෙලෙන් පැනලනෙ ආවෙ...පලුත් දානවා...කොයිල් එකක් වත් අවුලන්න බෑනෙ....ඕක පෙරලිලා පැල ගිනිගත්තොතින්....

මගෙ යටි හිත මට දෙස් තියනව අහවරක් නෑ....පැලට නැග්ග වෙලේ ඉදන් අනෙ යසෝද මලයා...අනෙ යසෝද මලයා...මෙච්චර කල් හේන බිදින්ඩ ආව වල් ඌරෙක් වත්මට මේ ආකාරෙන් වද දුන්නෙ නෑ හාන්දුරුවනෙ....

පියුම් හාමු....මේන් මේ පැගිරි වලල්ල අතේ දාගන්ඩ...එතකොට මදුරුවො වහන් නැ...

ශුවර්ද....මෙවුන් නන් මදුරුවො නෙවෙ ...ස්ටුපිඩ් බිච්!(චටස්!)

මගෙ ඉහත් එක්ක කැක්කුමයි...මදුරුවො තලන වාරයක් පාසාම ඉන්ගිරීසි කෑලිත් දදා හාමු මදුරුවන්ට සාප කරනවදෝ මන්දා.....කන ගාවින් කූ...න් ගාගන මදුරුවෙක් ඉගිලෙන වාරයක් පාසාම එකම දිගට කියවන් ඉන්න හාමු තැන අනිත්පාර ගෙදරින් උස්සන් ඇවිත් තිබුන ඇද රෙද්ද ඉහෙ ඉදන් පොරවහන ඇස් දෙක විතරක් එලියට දාගන උන්ඩි උනා මදිවට හීතලයි නෙදයසෝද ගාගන හීන් සීරුවට මගෙ ගාවට ලන් වෙනවත් එක්කා මං හොරා වගේ පැලේ අනිත් කෙරවලට රූටලා කනුව බදාගන ගස් කොලන් අතුපතරින් ආකාහෙට මෝදු වෙච්ච හද දිහාව බැලුවා....

රෑ අකාහෙට බර උන හද වටකරගන අරවින්ද කැට අහුරු ගනන් පායලා තිබුනා....ඉදහිටක මුලු ගහම හොලවන් යන හුලන් රැල්ල සර්වාංගෙට ගෙනාවෙ පුදුමාකාර හීතලක් වෙනකොට චන්ද්‍රකාන්යෙන් දිලිහෙන හේන දිහාවත් අරුන්දතියන්ගෙ රංගභූමිය උන ආකාහෙ දිහාවත් බලාගන උන්න මං දහයෙ කනිසමෙන් මගෙ සියපත පිපෙනකන් ඇගිලි ගැන්නා.....

වෙලාව තවම නවයෙ කනිසම ලැබුවා විතරයි....සමනගෙ ගෙදරින් ආව වෙලේ ඉදන් පියුම් හාමුගෙ කට රේඩියෝවට අන්තවෙලා තිබුනා....රත්තරන් හා සමාන බැටරි කෑලි පිරිමහගන දාන මටයි කියන්න තියන එකම නිදානෙ උන පුංචි රේඩියෝව අනූ අටයි දශම අටට සුසර කරන් උන්න මං ඇහෙන නෑහෙන ගානට යන සින්දුවට කන් දීගන මගෙ සුදු මහත්තයා ගැන කල්පනා කෙරුවා...

ඒත් කොහෙ කියලා නම් නිවිහැනහිල්ලෙ කල්පනා කරන්නද.... රේඩියෝවට කලියෙන් පියුම් හාමු තාලෙ අල්ලනවා.....

ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි.....

පින්තූරෙ වගේ ඔබ හිනැහෙන මට ලෝබයි....

අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි...

මං ඒකිට පිස්සෙක් වගේ ආදරෙ කරනවා යසෝද....

හේන් කෑල්ල දිහාව බලාගන උන්න මං ඔලුවෙ ඉදන් වහගන උන්ඩී වේගන ඉන්න පියුම් හාමු දිහාව බැලුවා.....ඈත පැලකින් පැල්කවියක් ඇහෙන්ඩත් තවම වේලාසන වැඩි වෙනකොට අමරසිරි මහත්තයට කලියෙන් ඇපල් මලේ සුවද පියුම් හාමු විහිදවද්දි මන් හාමු දිහාවට හැරෙන ගමන් මෙච්චර වෙලාම පාතට එල්ලගන උන්න කකුල් දෙකෙන් එක කකුලක් උඩට අරන් නවාගත්තා....දැන් එක කකුලක් විතරක් පාතට එල්ලෙනවා.....

ඒකිලාට වඩා ඕන තරම් ලස්සන ගෑනු මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා....ඒකිලාට වඩා පාට වැටුන ගෑනුත් ඕන තරම් ඉන්නවා.....ඒත්....මගෙ ලෝකෙ ඇතුලෙ ඉන්න මන් දැකපු ලස්සනම ගෑනි ප්‍රේමා යසෝද.....

මට දැන් තේරෙනව අපෙ එකා පිස්සෙක් වගේ මහ රෑටත් මට කෝල් කර කර වද දෙන උගෙ ආදරේ තරම.....මං ඕකට වෙලාවකට බනිනවා යසෝද පිස්සු නොකියව ඕක තියලා බුදියපන් කියලා...

නෑ.....ඌ එහැම වෙලාවෙම කියන්නෙ පියුම් උඹ දන්නවද.....මං මේ මුලු ලෝකෙන්ම දකින්නෙ මගෙ මන්දාරම්ව විතරයි කියලා....ඒ හිත අහසක් තරම් අනන්තයි කියලා කියපු දා මටත් උගෙ ආදර හුස්මෙ බර දැනුනා...

මන් නෙවෙ ආය හූමිටියක් තිබ්බෙ.....මෙච්චර වෙලාම මට වද දුන්න පියුම් හාමුගෙ කන්කරච්චලෙ අවසානෙදි පුදුමාකාර විදිහට සුමට වෙලා ගියා...ගුලිවෙලා උන්න හාමුම අවසානෙදි නැගිටන් ඇවිදින් මට සමාන්තරව ඉදගත්තා.....

මේ ආදරෙ මහ පුදුමාකාරයි යසෝද...ප්‍රේමට...යසෝදට වෙලාවකට බයක් හැකක් දැනෙනවා ඇති...අපිව උඹලට පෑහෙන්නෙ නෑය කියලා හිතලා හිත බය කරගන්නවා ඇති යසෝද.....සමහර කරුනු කාරනා එක්ක උඹලට ඇතිවෙන බය සාදාරනයි.....ඒක ඇවිදින් මගෙ වත් කලාත්මකගෙ අතින් වත් වෙච්ච වැරදි නෙවෙ...

ඒවා ඇවිදින් උඹල අපි ඉපදෙන්නත් කලින් මේ සමාජෙ හදාපු යම් යම් සීමාවන් යසෝද.....

ගෑනියෙක්ට උරුම පිරිමියෙක්....

පිරිමියෙක්ට උරුම ගෑනියක්...

කුල කාන්තාවකට උරුම කුලවත් පිරිමියෙක්...වලව් ඈයො ගන්නෙ වලව් මැනිකෙලා...

මෙව්ව කාගෙ මතද යසෝද??

එකම ජාතියෙ සර්වාංග ඇතුලෙ එකම පාට ලේ දුවන අපිට ඇයි කුල මල යසෝද....

ඒත් සම්මත....අසම්මත ඇතුලෙ මේ තියෙන්නෙ ආදරයක් යසෝද.....

සම්මතයි සම්මතයි කියලා සමහරක් දේවල් ලේබල් කෙරුවට සම්මතයි කියන ලේබලෙ නොවැදුන හරි ලස්සන තැන් අසම්මතෙ ඇතුලෙත් තියනවා.....

ගිනිගහන කාන්තාරෙත් වැහිබිදකට පන වගේ ආදරෙ ඇති යසෝද...අහසට කැප උන වලාකුලකට බැරිද මහපොලවට ආදරෙ කරන්න.....පුලුවන් ...බැරි කමක් නෑ...

ලෝකධර්මතාවෙන් පිට පැන්නත් සමහර ආදර කතා ලස්සනයි යසෝද....

...මාත් ඔයාගෙ මල්ලිට හුගක් ආදරෙයි පියුම් හාමු....මන් ආකාසට මග් ආත්මෙන්ම ආදරෙයි.....

අවසානෙදි මං පියුම් හාමු වෙනුවෙන් වචනයක් කතා කෙරුවා...මෙච්චර වෙලාම මූන පුරාවට හිනාපොදක් නැතිව උන්න මං ලාවට වගේ හිනා උනා...සියොලගම හීතලෙන් ගැහීගන යන යාමෙක මං බලාගන දෙමස්සිනාවරුන්ගෙ කතා අහන් උන්න පුරහදත් වලාකුලකට මහපොලවට ආදරෙ කරන එක අසම්මත නෑය කියලා කියලා දෙනවා.....

දහයයි වෙලාව...ආකාස එනවා යසෝද...ඕක චුට්ටක් වැඩි කරනවද....

කිව්වත් වගෙ දහයෙ කනිසම ලැබුවා....වෙනදට දහයෙ කනිසම එනකම්ම ඇගිලි ගැන ගැන ‍රේඩියොව තුරුල් කරගන්න මට අද මගෙ සුදු මහත්තයා හන්දම සුදුමහත්තයව අමතක උනා.....

සමනගෙ අම්මා කිව්වා වගේම මාව තවත් ටිකක් ඇදිලා ගියාට මොකද ඇගේම සාරෙ ඉහට උරාගන වගේ සබන් අතුල්ලලමයි කිවුල වතුරෙන් නාලමයි මුඩ්ඩ වගෙ උන කොන්ඩෙ උරිස්ස ගාවට දික් දෙලා මදිවට මුදු මුදු ගැහෙනවා වෙනුවට තරමක මහත දිය රැල්ල වගෙ රැලි වැටිලා තිබුනා.....ඉහට බැදගන්න පීත්තපටියක් හොයාගන්න නැතුව අතට අහු උන රෙදි පටියෙන් පාතට කරගන කුරුල්ලෙක් ගැටගහන් උන්න මගෙ නලල දෙපැත්තෙන් වැටුන කෙස් රෑන හුලන් තාලෙට පැද්දෙන ගමන් දෙතොලටත් හාදු තියාන යද්දි මං මගෙ දෙතොල මගෙන් වත් ඉදුල් වෙන්න නොදි අර කෙස් කැරලි කන පිටිපස්සට දාගන පියුම් හාමුගෙ ඉල්ලීම ඉශ්ඨ කෙරුවා....

"ඇත්තමයි නුඹ මගෙ අහසම තරම්....."

පාවෙලා කෝඩු ආකාසෙ දැවටෙමින්...

ජීවිතේ...හීනයක් මම දෝ කියන්...

මෙතනින් එහාට මං නෙවෙ ආය පියුම් හාමුට මගෙ දැහැන බිදින්න ඉඩක් තිබ්බෙ.....හැමරෑකම දෙහෝරාවකට මයෙ පය පාමුලට කඩාවැටෙන තුසිතය දෑතින්ම බදාගන දැහැන් ගත වෙන මට මගෙ ජීවිතෙ ස්වර්ණමය දෙහෝරාව උනේ මේ දහයෙ කනිසම වෙනකොට මේ ස්වර්ණමය හෝරාවට පන පොවපු මායාකාරි පිරිමි පරානෙට ආදරෙ කරන්න තරම් මං මේ සංසාරෙ කොතනම හරි පුදුමාකාර පිනක් කරලා තිබුනා....

පවෙලා කෝඩු ආකාසෙ සින්දුවත් එක්ක මැදිරියක් පුරාවටම පිපුන සියපතක සුගන්දෙන් මගෙ පැල්කොටෙත් නෑවීගන යනකොට අනෙ අර සින්දුව මැදින් වෙනදා වගේම ඇබිති කෑල්ලක් කියාපු මගෙ ආකාස...මගෙ කලාත්ම...මගෙ සියපත මුලු රටටම කලියෙන් අල්ලගත්තෙ මගෙ තුන්හිත වෙනකොට ඇත්තමයි නුඹ මගෙ අහසම තරම් කියනවත් එක්කම මං කොලොම්තොට ඉසව්ව හොයාගන්න මගෙ ඇස් කැරකෙව්ව...

"වෙලාව හරියටම රෑ දහයයි.....අනූ අටයි දශම අටෙන් අදත් රෑ දහයෙ කනිම පුරවන් ප්‍රේම කතා ප්‍රේමයෙ ඕවර්ඩෝස් ගියපු කතා..අකුරු කරනු බැරි රොමාන්තික හුස්මවල් අරන් ආව මම කලාත්ම...කලාත්ම සියපත් ආකාස බ්‍රාහ්මනගේ....!

ඉතින්....,

මොනව හරි කියන්න...මං ඉන්නෙ ඔයා වෙනුවෙන් අහගන්න...කතාවකට කලින් අපි කෝපි උගුරක් බීලා ඉමුද.....??නිදිමරන හිත්වලටයි ඇස් වලටයි කෝපි හොදයි කියනවා...මට පුලුවන් සීයට දාහක් ගැරන්ට් කරන්න....

මොකද...මාව අහන ඉකිබිදින සුසුම් හෙලන ලයාදරය....රෝමාන්තිකට...මං අමනාපයි ඔය හිතයි ගතයි තෙහෙට්ටු වෙනවට.....ආරෝග්‍යා පරමාලාභා තේරුනාද ලමයට...නීරෝගි කම උතුම්ම ධනයයි...."

මගෙ වස්තුව කියවනවා.....හැමදාම නැතිව කලාතුරකින් තේ වතුර බෝතලයක් අරන් ආවත් හැම රෑකම බත් ගෙඩියක් එක්ක වතුර බෝතලයක් උස්සන් ආව මට අද කෝපි උගුරක් බොන්න හිතුනා.....

මගෙ සියපත් හාමු තැන වෙනදා වගේම අදත් නිවුන කටහඩින් හරි මෘදුවට වචනෙන් වචනෙ ගලපනවා...ආදර ලියමනක් කියන්න කලියෙන් මක්කද මන්දා මයෙ අම්මා පන්ඩිත කතා අහුරකුත් කියනවා...

කන ගාවින් යන මදුරුවන්ට ඕන නාඩගමක් නටාගන්න දුන්න මං කෝපි උගුරක් නැති තැන වතුර උගුරක් කටේ හලාගන්නවා එක්කම මං අහගන දහයෙ කනිසමෙ පලවෙනිම ආදර කතාවට එයා මං වෙනුවෙන් වියදම් කරන්න ඕන හැගීමක් මගෙන් නාහම වියදම් කරනවා.....

"...කාලෙකට කලියෙන් තොරතෝන්චියක් නැතිව කියවන් ගියපු මට අද කතා කරගන්නත් වචන නැහැයි කියන එක ඔයා විස්වාස කරනවද.....

ප්‍රේම නටඹුන් අස්සෙම ගිලි ගිලි මලගම් ගියපු ප්‍රේමයෙන්ම තැලි තැලී හදවත පුරාවටම මකුනුදැල් බැදුන කාලෙක හීන් සීරූවට ඒ හැම පාලුවක් හිස්කමක් බැදපු මකුනුදැලක්ම කඩලා ආපිට ඒ මල හදවතම ඇස්පනාපිට තවත් වතාවක් මලගම් ගියාය කිව්වොත් උඹ අදහනවද.....

එක තත්පරයක්....මං උඹගෙන් ඉල්ලන්නම් එකම් තත්පරේකට නයටවත් ගන්න බැරිවෙයිද මං බර උන ආදර උරහිස?..එකම එකවතාවක්.....එකම එක මොහොතකට බැරිද මේ අත ආයමත් පරිස්සමට පටලවගන අපි ආගිය පාරක තව එකම වතාවක් එහා මෙහා යන්න හැබැහින් බැරි නම් හීනෙකින් වත්.....

පුලුවන් නම් එක හිනෙකටවත් වරෙන් ආගිය පාරක තවමත් පාගහනවා ඇති උඹගෙ මගෙ ආදර මතක.....මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක රත්තරන් එක මොහොතකට මගෙ වෙනවද?

මම අශිකා වීරරත්න

නාරම්මල

මේ ඉරයි හදයි....තනි අහසක පායන දවසක.....දයාබර අශිකා....ඉතින් කොහොම කියල නම් මං මේ ඉල්ලීම අහක දාන්නද.....ආදරෙ බරම තැන පේන්නෙ ආදරෙ අහිමි උන පලවෙනි තත්පරේදි කියනවා...

ඒත් මං ප්‍රාර්තනාවක් කරනවා ආදරෙ බරම තැන් පේන්න ආදරෙ අහිමිවෙලා යනකන්ම ඉන්න එපාය කියල...දහයෙ කනිසමෙ පලවෙනිම සින්දුව අශිකා මං ඔයා වෙනුවෙන් වෙන් කරනවා.....මාව අහන් ඉන්නවා නම් මං ප්‍රාර්ථනා කරනවා හන්ගපු තැන්වලින් වත් පැනනැගපු ආදරෙ ආයමත් දළුලාන්නයි කියලා.....මං ප්‍රාර්තනා කරනවා සරවාංගවලින් පමනක්ම සමුගත්තො මේ සන්සාරෙ කොතනම හරි ආය ආයමත් ආදරෙන් එක්වෙත්වා කියල..."

*

*

*

හෝරාවක් ගත උනා....එකොලහෙ කනිසම ලැබුවා...දෙහෝරාවක් ගත උනා.....ප්‍රේමනීයම හෝරාව අහවර වෙන්න කිට්ටු උනා....මේවෙනකොටත් පපුවෙ බරම තැන්වලින් ඉපදුන වචන අහුරු ගොඩක් මගෙ රත්තන්ගෙ කටහඩින් සජීවී උනා....ඉතින් මගෙ වස්තුව වෙලාව මතක් කරනවා...එයා යන්න හදනවා...ඒත් වෙනදට වඩා ඒ කටහඩ ඇතුලෙ අද පුදුමාකාර සතුටක් හැන්ගීලා තිබුනා....

දොලහයි....මන් දන්නවා මගෙ හිත වගේම ඔය හිතත් හෙට එලිවෙනකන් ඇගිලි ගනිනවා....

හෘදවස්තුවෙ සියුම්ම තැන් පවා හොය හොයා මුදුවට පිරිමැද මැද හිස්තැන් තියනවද හොය හොය ආදරෙන් ආදරෙ පුරවන උඹව මට ලැබීමම භාග්‍යක් මගෙ කලාත්ම.....

දෛවය විසින් මේ තරම් දුක් කම්කටොලු ජීවිතයක් දුන්නට වචනෙකි වත් චෝදනා නොකරපු මං උඹව මුනගස්සවපු මේ දෛවයට කට පුරා පින් දෙනවා ආකාස.....

අමාවකට හදපායන්නෙ නැති බව තුන් හිතම දන්න මුත් අමාවකදිත් හදක් ගෙනවිත් මන්දාරමකට ප්‍රේම කරාපු සියපත ස්තූතියි ආදරේ මොන තරම් රහද කියන එක මට හරි පරිස්සමට අකුරු කරනවට....

ඉතින් රත්තරන් පරිස්සමින්.....මහපොලවට හෙට තරම් ලස්සනට ඉර එලිය වැටෙන දවසක් මෙ ආත්මෙට මං ආයමත් දකින් නැති තරම් වෙයි!!!!

"වෙලාව හරියටම දොලහයි.....අනූ අටයි දශම අටෙන් මාව අහන් ඉන්න ඔයාගෙන් මන් සමුගන්න වෙලාව.....ප්‍රේම කතා අහුරක අවසානය ආයමත් විරහ කතාවක්....පරිස්සමින් ඉන්න.....මං ආදරෙන් ඉල්ලනවා...මාව ආදරෙන් අහන් ඉන්න....මං බලාගන ඉන්නවා...

අතීත මතක දරාගන උඹව සිහිකර කර ආය ආයමත් කදුලු මැදින් මන් උඹ නැතුව උඹ එක්ක හිනාවෙනවා...උඹම ඇව්දින් හදෙ කවුලු ඇරලා....උඹම මහ සද්දෙන් ඒ හද කවුලු වහල දැම්මා...බලාපන් දොරපියන් වැහුන වැහිල්ලට පපු බිත්ති ඉරිලා ගිහින් ඇස්වලිනුත් වේදනාව කදුලු විදිහට පිට දානවා...

කමක් නෑ..උඹගෙ සුවද ශේශ උන පරන කමිසෙ මට තවටත් උඹ මත්තෙම නහින්ඩ කියනවා....උඹ හන්දම අඩ අඩාම හුස්ම අල්ලලා තට්ට තනියෙන් මැරිලා යන්න කියනවා...කාටකියලා නම් මං වැරදි කියන්නද....

උඹව මට මුනගස්සවපු දෛවයටද....නැත්‍තන් උඹව මගෙන් උදුරාගත්ත දෛවයටද.....දෙකම එකක් නම් මං මොනවා කරන්නද....මං කොහොම කියන්නද සමහර රැයවල් ගෙවාගන්න බැරුව කීතු උන පපුවට හුස්ම කවාගන්න මන් විදවපු වේදනාව ගැන...

ස්තූතියි.....ආදරේ රහ දවසකට හරි මට විදින්න දුන්නට...මං හිත හදාගන්නම්...තනිවීමම ප්‍රේමයක් බව හිතාගන!

මම නයන අබේවික්‍රම

පුදුකුඩිරිප්පු

නාවික හමුදා කදවුරෙ ඉදන්

"තනිවීම වුව ප්‍රේමය ම බව

යළි යළිත් මේ අදත් පවසමි

මතක අමතක කරන්නට බැරි

බැවින් නිහඬ ව බිම බලගමි"

පරිස්සමින් ඉන්න.....කාටත් කලියෙන් කැලෑගමට හෙට ඉරපායන්න...එහෙනම්...ආයමත් දහයෙ කනිසමෙන් එනකන් හැමෝටම සැනසීම පිරුන රාත්‍රියක්...ස්තූතියි...මාව අහන් උන්නට!!මම කලාත්ම සියපත් ආකාස භ්‍රහමනගේ!!!

*

*

*

මයෙ පුතා...මේන් මේ කහට එක.....උඹලට තදියම ගහලා....පැලේ ඉදන් ආව වෙලේ ඉදන් මක්කද මයෙ පුතා මේ කොදිච්චිය...රොටිත් ඕණය කියලා රොටිත් පිච්චුවා...ඉදිආප්පත් ඕනය කියල උඹලම ඉදිආප්පත් වක්කෙරුවා....මක්කද කියාපන්ක් මේ....උදේ පාන්දර දහ වන්ගියක් බයිසිකල් කට්ටෙ හුලන් බැලුවා...

ඒපාර මේන්....අර අපූරු කමිසෙ ඇදන්.....යසෝද මයෙ පුතා උඹලා මේ කොහෙ යන්ඩද කියපන්කො...

ලමයිගෙ අප්පුච්චෙ මේන් ඇහුනද....ඉලන්දාරියා ඔහෙගෙ ලේලි පොඩ්ඩ බැහැදකින්ඩ යන්ඩ වගේ...ඕන් එහෙනම් මේ පැලටත් කිරිඋතුරන්ඩයි යන්නෙ...

හ්ම්....කිරි නම් උතුරයි ...

ඕන් ඇහුනද ඒයි ....මේ....එ..ඒහ්හ්..නිකා ඉදිල්ලකො මා පුතා නාකි මාව ඉඹින්නෙ...ලමයිග් අප්....පුච්ව්හේ...හ්හ් මේකට දෙකක් දීපල්...ලා...උඹලා මාව වට්ටලා කොන්ද කඩන්ඩ යන්නෙ...මාව බිමින් තියපල්ලා පුතා...මක්කද මේ නාඩගම ඔය අපූරු කමිසෙ කිලිටි වෙයි.....

මයෙ අම්මා නෝක්කාඩු තියනවා..... උන්දැගෙ කතාව ඇත්ත...පැලෙන් ගොඩ බැහැල ගෙදට්ට ආව වෙලේ ඉදම්ම මං උන්නෙ දුම්මල වරම ගත්ත කට්ටන්ඩියා වගේ වෙනකොට මැටි හට්ටිය් තිබුන අලකොල මාලුව දිහාවත් බල බල උන්දෑ පුච්චපු රොටියත් මදි වෙලා ඒ උඩටම මගෙ අතින්ම මන් ඉදිආප්පෙකුත් වැක්කෙරුවා....ලී වංගෙඩියට දාල සම්බෝලෙකුත් කෙටුවා.....

අනෙ මගෙ තුන් හිතම මගුල් සක්වලක් වගේ වෙනකොට ඔය පාන්දරම වැවට දුවාපු මන් නාගත්තා මදිවට කලුවවත් අල්ලා නාවගන ගෙදර ඇවිදින් තදපාට සරමට අනෙ ඉස් ඉස්සරෝම මගෙ සුදු මහත්තයා අරන් දුන්න සියපතෙ පාට ගත්‍ත කමිසෙ ඇදන් කැඩුන කන්නාඩි කෑල්ලෙන් හැඩ බැලුවා විතරයි මයෙ අම්මාලගට ඇවිදින් එකඑකාකාරෙ කතා කියනවත් එක්කම හිතෙ තිවුන සතුටට මං එ කම්මුලක් ඉඹලා උන්දැව හරහට උස්සන්වටයක් කැරකුනා....

උඹලා ඔය යන තැනවත් නොකියා කොහෙ කඩුල්ල පයිනවද යසෝද??

මයෙ

අප්පුච්චෙ...

අද කලාත්ම හාමු එනවා!!!!

*

*

*

ඇස් මානෙදිම බස් එක පෙනි පෙනී යන්න ගියා....මාවත් පහු කරාන බස් එක යන්න ගියත් හාමු තැන නෙවෙ බැස්සෙ.....

මගෙ ඇස් ගෙවෙන එනවා...හෝරාවෙන් හෝරාව ගෙවි ගෙවී යනකොට අනෙ මං දහ වන්ගියක් විතර පාරට එබුනා....

හාමු උඹලට බස් එක අල්ලගන්න බැරි උනයි.....

මයෙ හිත එකාකාරෙට කම්පා වෙනවා....ඇදන් උන්න කමිසෙත් සරමත් දහවතාවක් හදාගත්ත මං පාර පුරාවටම එහා මෙහා ඇවිද ඇවිද පාර පුරාටම ඇස් යවනකොට ඇස්පනාපිට යන්න ගියපු හතේ කනිසමෙ බස් එකෙන් පස්සෙ අටෙ කනිසමත් ගියා.....ඒත් නවයෙ කනිසම තව නෑ...දහයෙ කනිසමටත් ලන් වෙලා නවයෙ බස් එක තව නැතිවෙද්දි මගෙ බඩ පපුව පත්තු වෙන්න ගත්තා.....

මගෙ උගුර කට වේලෙන්න ගත්තා...නාවත් කමක් නෑ උඹ සනීපෙන් නම් ඒ ඇති මගෙ හාමු.....

සමන්දෙයි හාන්දුරුවනෙ...ආන් ලන්ගමෙ එනවා.....

මෙච්චර වෙලාම හත් කඩකට පපුව පලාගන උන්න මගෙ ඇස් වලට පාටවැටෙන්න ගත්තා...කන්ද දිහාවෙන එන ලන්ගමේ හෝන් සද්දෙ ඇහුනත් හරි බස් එක ලන් වෙන්න ලන් වෙන්න මගෙ පපුව ගැහෙන්න ගත්තා.....

දූවිලි වලාකුල් අහසට නගිනවා..ඉදහිටක ට්‍රැක්ටරයක් බයිසිකලයක්...පාට ගියපු ත්‍රීවිල් කටුවක් නයින්ටියක් ඇරුනම පාරම පාලුවට යනකොට පාලුවලපාගන ආව ලන්ගමේ මගෙ පපුව ගිඩි ගිඩි ගාගන බස් හෝල්ට් එක පෙනතෙක් මානෙදි වේගෙ බාල කෙරුවා...

බස් එක නැවැත්තුවා.....

ටිකට් පොත අතට ගත්ත කොන්දොස්තර බස් එකෙන් බැස්සා....

එන්ඩ මහත්තයා!!

මගෙ පපුව ගැහිල්ල නැවතුනා...

කඨෝර ගමක්ම සුවදකරගන සියපතක් පිපුනා....

සුදුමහත්තයා.....

අඩියයි දෙකයි....බස් එක අද්දනවත් එක්කම බරට බරෙ කලු බෑග් එකක් උරහෙ එල්ලන් මගෙ දිහාව බලාගන අහවරක් නැතිව හිනා වෙන කලාත්ම හාමු ගාවට දුවාපු මගෙ ඇස්වලට නොහිතපු මොහොතක කදුලු ඉනුවා...

මන්දාරම්....මගෙ ලමයො.......!!

හාමු....උඹලා ආවා !!

මගෙ බෙනරගම අඩනවා.....ඇයි මේ...සුදුමහත්තයා ආවෙ අඩනවා දකින්න නෙවෙ මන්දාරම්....තවත් නම් බෑ.....උඹව තුරුල් කරගන්න ඕන මට...

ඇස්වලට උනාපු කදුලු කැට පේලියක් මගෙ දෙකම්මුල්ම තෙමාගන යන යාමෙක එයා මගෙ කදුලු කැට හරි සීරුවට පිහදලා මටවත් දැනුන් දීමක් නැතුවා ඇදලා අරන් ඒ හයිය අත්වලින් මාව බදාගත්තා.....

ප්‍රේමිය කියාපන් මට කව්දැයි කියන්නෙ අමාවකට හදපායන් නෑය කියලා..මේන් බලාපන් අමාවකටත් හදපායනවා!

❤️❤️🌸දීසාක්කා ආවා...ආය ගියා.....

ආතරෙයි හර්තේ.......උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්වාහ්හ්හ්හ්හ්හ්

THANK YOU

More Chapters