LightReader

Chapter 2 - එයත් මන් වගේ

"සවේන් පුතා ඔයා නැතුව මන් පිස්සු හැදිලා හිටියේ මේක කරගන්නේ කොහොමද කියලා හිතලා."

"මැඩම් මන් ආවා වගේ නෙමේ ගෲප් එකේ අනික් අය කැමති වෙයිද මාත් එක්ක නටන්න?" මට නම් මේ ආවට කිසිම විශ්වාසයක් නෑ. අපේ වයසේ නැටුම් කරන කොල්ලෝ තව නම දෙනෙක් ඉන්නවා. ඒත් වෙස් තියලා තිබ්බේ මමයි තව එකෙකුයි විතරයි. ඒ මොනා වුනත් මට තනියෙන් නටන්න බෑනේ. 

"සවේන් එක්ක නටන්න කැමති වුනත් අකමැති වුනත් මට කරන්න දෙයක් නෑ. අකමැති අයට අයින් වෙන්න කියමු. ඔයා විතරක් හරි කලා උළෙලට නටනවා. සවේන් මේ සැරේ නටනවා. මාව විශ්වාස කරන්න!" මැඩම් මගේ ඔලුව අත ගෑවා. "දැන් කියන්නකෝ අපි මොනාද මේ සැරේ කරන්නේ? වෙනස් දෙයක් කරමු!"

"මැඩම් මන් ළඟ කාලෙක ඉඳන් තියන අදහසක් මේක, අපි, භරත නාට්‍යම්, උඩරට fusion එකක් කරොත් කොහොමද?" මන් ඇහුවේ ඔලුව කස කස අවිශ්වාසෙන්.

"ශා! ඒකනම් මරු අදහසක්නේ පුතා! ඒත් කවුද භරත් නාට්‍යම් නටන්නේ?" මැඩම්ගේ මූන නරක් වුනා.

"මන් කරන්නම් මැඩම්!" මන් හිනා වුනා. කාලෙකට පස්සේ මගේ හිතට් උද්වේගයක් ආවේ. 

"සවේන් භරත නාට්‍යම් කරනවද?" මැඩම්ගේ ඇස් දෙකත් එලියට පැනලා. 

"කතකුත් කරනවා" මැඩම් ගේ කටනම් දැන් හැලෙන්න ඕන්න මෙන්න.

"ආයේ මොනාද බල බල ඉන්නේ කොල්ලෝ? අපි ඒකම කරමු!" අපි අදම ස්ටෙප්ස් ටික හදමු. දැන් ඊළඟ පීරියඩ් එක ඔයාලටනේ. ළමයි ටික ආවම අපි පටන් ගමු." මැඩම් බෙරේටක් තට්ටුවක් දැම්මේ හිතේ තියන උද්වේගයටමයි.

බෙල් එක ගහලා විනාඩි පහක් යද්දි කොල්ලෝ ටික නැටුම් කාමරේ. මෙතුල මාව දැක්කම ඌගේ කට ඇරුනා. තව එකෙක් අනෙක් එවුන්ට වැලමිටවල් වලින් ඇනලා කටේ අත තියන් හිනා වුනාම එකෙක්,

"ගේ කුරුල්ලොන්ට පාර වැරදිලා මන් හිතන්නේ" 

"මොකක්ද කිව්වේ?" රංගිකා මැඩම් කඩා පැන්නේ කොටි දෙන වගේ. 

"අහ් නෑ නෑ මැඩම් මේ අර කුරුල්ලෙක් ආවනේ පන්තියට වැරදිලා ඒකයි මේ" 

"මේ ළමයෝ මාව තම්බන්න ලෑස්ති වෙන්න එපා! මන් උඹලගේ කාලේ පහු කරලා මේ ඇවිත් ඉන්නේ. දැන් මට කියූ දේ නොතේරුනා කියලා හිතන්න තරම් මෝඩ වෙන්නෙ එපා! සවේන් ගෙන් දැම්ම සමාව ගන්නවා!" මැඩම් මගේ ඉස්සරහ ඉද්ද ගැහුවා වගේ හිටියේ කියපු එකාගේ දිහා එක එල්ලේ බලාගෙන. දැන් මෙතුලයි, ඌයි ඉතුරු එවුන් ටිකයි මූනට මූන බලන් ඇස් වලින් කතා කරගන්නේ මගෙන් සමාව ගන්නවද නැද්ද කියලා සාමූහික තීරණයකට එන්න. 

"මොකද බලන් ඉන්නේ? සමාව ගන්නව මේ දැන්ම!" මැඩම් තවත් තදින් කිව්වම අර කට කැඩිච්ච කතාව කියපු එකා මගේ දිහා නොබලම "සොරි" කිව්වත් ඒක හදවතින් ආපු පසුතැවීමක් වචන වලට පෙරලීමක් නම් නෙමෙයි. 

"හරි මැඩම් අපි වැඩේ පටන් ගමු. වෙලාව නාස්ති වෙනවනේ" මන් තවත් වැඩේ දික් ගැස්සෙන්න කලින්ම කිව්වේ මුන්ට ඕවා තේරුම් කලාට වැඩක් නැති බව දන්න නිසා.

"හොඳයි. එහෙනම් ඔක්කොමලා අහගන්න. අපි කලා උළෙලට අයිතමයක් ඉදිරිපත් කරන්න ඕනා. ඒකට මන් හිතුවා භරත නාට්‍යම්, උඩරට fusion එකක් කරන්න" මැඩම් ඒක ඇගේ අදහසක් කියලා කිව්වේ ඇයි කියලා මන් දන්නවා. ඒක එහෙම කියපු එක ගැන මන් සතුටු වුනා. 

"ඒත් මැඩම් අපි භරත නටන්න දන්නේ නෑ නේ!" මෙතුල කිව්වේ මගේ දිහා බලන්. හැබැයි මූනේ තිබ්බ හැඟීම මට තෝරන්න බෑ.

"ඔයාලා කරන්න ඕන නෑ. මොකද මේන් කැරැක්ටර් එක සවේන්. එයයි භරත නටන්නේ!" මොකක්ද මේන් කැරක්ටර්? එහෙම එකක් අපි කතා වුනේ නෑ නේ.

"මැඩම් අපි කැමති නෑ ඒකට!" තව එකෙක් කෑ ගැහුවා.

"හොඳයි. අන්න තියනවා දොර" මැඩම් අත දොර දිහාවට යැව්වා. 

ඉතින් අර කෑ ගහපු එකා ඉස්සෙල්ලම ගියා. ඊටපස්සේ අනෙක් එවුනුත් ඌගේ පස්සේ යනකොට මෙතුල විතරක් ඉතුරු වුනා. මෙතුලත් අඩි දෙකක් ඉස්සරහට යනකොට මැඩම් ගේ මූණ කලු වුනා. 

"මැඩම් මන් යන්නම් මැඩම්. මන් නිසා නම දෙනෙක් නටන්නේ නැතුව ඉන්න ඕන නෑ" මන් මැඩම්ගේ කකුල් දෙක අල්ලලා වඳිනකොට මැඩම්ගේ කකුල් දෙක උඩට මගේ කඳුලු බින්දු වැටුන පාර මැඩම් මාව උරහිසෙන් අල්ලා නැගිට්ටලා බදාගත්තා. 

"මට සමාවෙන්න පුතේ!" 

"ඒකට කමක් නෑ මැඩම්!" මන් මැඩම් වත් අත ඇරලා දුවන්න ලෑස්ති වුනේ තුර්ශ හොයා ගන්න. මට මේ වෙලාවේ මතක් වුනේ ඌව විතරයි. මොකද මට දැන් අඬන්න ඕනා. මගේ අත් ගැහෙනවා. ඒත්...

"සවේන්! ඔහොම හිටපං!" මන් පිටිපස්ස හැරිලා බලද්දි මෙතුල,

"මන් නටනවා උඹත් එක්ක!" ඌ ඇවිත් මගේ උරහිසෙන් අල්ලගත්තම මන් ඌව බදාගත්තා.

"සවේන්!!!!" එක පාරට මාව උරහිසෙන් ඇදිලා ගියා. 

"තුර්ශ!" 

"අඩෝ උඹේ ලස්සන! මෙහෙම දැකලම නෑ ඕයි! උඹ නම් ඉන්දියාවෙන්ම ගෙන්නලා වගේ! ආව් සප්පා! දිල් තෝ පාගල්

හේයි, දිල් දිවානා හේයි!" මූට නම් තියෙන්නේ කටක් නෙමේ.

"දන්නෙවාධ්!" මන් අත් දෙකත් එකතු කරලා කිව්වා. මාත් ඉතින් ඔය කෑල්ලක් දෙකක් දන්නවා.

"එලම එලම! බලහං ඉතිං උඹේ මිනිහා නැතුව අපි මේවත් අදින්න ඕනා." තුර්ශ ෆයිල් එකක් දික් කරා. "ශේක්ස්පියර්, කුමාරතුංග මුනිදාස වුනාම කන්න හොඳ මොනාද බන්?" 

"චිකන් කරීයි, ලොසින්ජරයි!" මන් කිව්වම ඌටත් හිනා ගියා. තුර්ශ එක්ක එදා කතා කරන්න තීරණය කරපු එක මන් ජීවිතේ ගත්ත හොඳම තීරණයක්.

මෙතුලට භරත නාට්‍යම මටයි මැඩම්ටයි අමුතුවෙන් උගන්නන්න උනා. ඒත් ඌ නටන්න දක්ශයි. ඌ ඉක්මනට ස්ටෙප්ස් ටික අල්ලගත්තා. ගියපු එවුන් ආයේ ආවේ නෑ හැබැයි දැන් උන් මාවයි, මෙතුලවයි අල්ලලා කතා හදන්න පටන් අරන් තිබ්බා. 

හවසත් ප්‍රැක්ටිසස් වලට ඉන්නකොට එක දවසක් 

"ආ... අයුශ් නැති වුනාට පස්සේ ගැන්සියේ ඉතුරු දෙන්නා හැ$නෙනවද කොහෙද!" 

"මොකක්ද හු$ත්තෝ උඹ කිව්වේ?" කියලා මෙතුල පනින කොට මන් ඌව බඩ වටේ අත දාලා අල්ලගත්තේ ඌට ඉස්සරහට යන්න නොදී, ඒත් ඌ ගහන්න ගිය පාර බිත්තියටම ගහලා තරහා නිවා ගත්තා.

"මට සමාවෙයන් බන්, මන් නිසා උඹ කතා අහගන්නවා!" මට මෙතුලට මීට වඩා දෙයක් කියන්න දන්නේ නෑ.

"හිතන්න එපා බන්. අපි උන්ගේ කටවල් වැහෙන්න ලස්සන performance එකක් කරමු. අනික මමයි උඹට සොරි කියන්න ඕනා. මන් උඹව තනි කරා. කතා කිව්වා. මගේ හිත රිදුන නිසා උඹවත් රිද්දන්න ඕන වුනා!" මෙතුල බිම බලාගෙන කියද්දි මන් ඌට පිටට තට්ටුවක් දීලා "it's ok" කිව්වා. දැන් ඒ කතා කරගත්ත විදිහට අපි අද සුපිරි performance එකක් දෙන්න ඕනා.

උඩරට අයින්ම කරලා භරත් නාට්‍යම් එක්ක පොඩි bromance performance එකක් කරන්න මැඩම්ට ඕන වුනේ මේ ළමයි අතරේ තියන වැරදි මතය දුරු කරලා ඒකත් සාමාන්‍යකරණීය කරන්න. Principal sir rehersal බලලා හොඳ කිව්ව නිසා අපේ හිතේ තිබ්බ පොඩි බයත් නැති වුනා. අපි නැටුවේ චන්ද්‍රචූඩා කියන ශිව දෙවියන් වෙනුවෙන් ශ්‍රී පුරන්දර දාස විසින් රචිත කන්නඩා ගීතයකට. 

නටද්දි මට මුලු ලෝකෙම අමතක වෙනවා. මන් නටන්නේ මන් වෙනුවෙන්. මිනිස්සු බලන් ඉන්නවද නැද්ද කියන එක මට අදාලම නෑ. මන් හිතන්නේ නරථන ශිල්පියෙක් තමන්ගේ හිත පුරා තමන්ගේ නර්ථනය විඳිනවනම්, ප්‍රේක්ශකයත් හිත පුරා ඒක විඳිනවා කියලා. 

අදත් එහෙමයි. මන් හිත පුරා මගේ නර්ථනය වින්දා. කොයි තරම් කාලෙකට පස්සෙද මන් මේ වේදිකාවක් උඩ නටන්නේ? අන්තිමට නටපු පාර මේ මගේ ඉස්සරහම මගේ නේත්‍ර දෙනෙත් දිහා හරි ආසාවෙන් බලන් හිටියා. මං ඇස් වහන් ඒ රූපේ මන් දිහා බලං ඉන්න විදිහ හිතෙන් මවාගෙන එයා වෙනුවෙන්ම නැටුවා. 

සින්දුව නවතිනකොට මුලු ඉස්කෝලේම නැගිටලා අත්පුඩි ගැහුවා. කොහෙන් හරි විසිල් සද්දෙකුත් ඇහුනා. කවුද කියලා බැලුවම ඒ පිටිපස්සේ ඉඳලා තුර්ශ! මන් ඌ දිහා බලලා හිනා වුනාම ඌ තම්බ්ස් අප් එකක් දුන්නා.

"සවේන් වරෙං කන්න!" තුර්ශ ඉන්ටර්වල් එකේ බෙල් එක ගහපු ගමන් වෙන්දා වගේම කොට තාප්පෙන් ඔලුව දැම්මා. 

"එනෝ!!!" මන් කෑ ගැහුවේ බත් එකත් අතට ගන්න ගමන්. 

"කොහෙද යන්නේ?" මෙතුල ඇහුවේ නොදැන වෙන්න බෑ. මොකද දැන් දවස් ගානක් තිස්සේ මන් කන්නේ English Medium පන්තියේ. 

"11- E එකට" 

"මාත් එක්ක කමු!" මෙතුල බත් එක දිග ඇරගත්තා. 

"උඹ කාපන්. අනික් එවුන් මන් ඉන්නකොට උඹත් එක්ක කන්න එන එකක් නෑ" 

"උන් කෑවේ නැති වුනාට කමක් නෑ. අපි කමු!" දැන් මන් මොනාද කියන්නේ? මට මෙතුල එක්ක කන්න ඕන නෑ. ඇත්ත! ඌ ආයේ මාත් එක්ක කතා කරන්න ගත්තු එක ගැන මට සතුටුයි. ඒත් ඌ ගැන මගේ හිතේ තිබ්බ ලෙංගතු කමේ පලුද්ද සෑහෙන්න කාලෙකට අලුත් වැඩියා වෙන්නේ නැති වෙයි. තුර්ශ වෙනස්. තුර්ශ මට යාලුවෙක් ඕනම කාලේ මට ලං වෙන්න උත්සහ කරා. මට අලුත් අරමුණක් දුන්නා. ආයේත් මට මාව හොයාගන්න උදව් කරා. මන් ඌට හෙනට ගෞරව කරා. 

"හෙට කමු බන්. මන් තුර්ශට එනවා කිව්වානේ." මන් බත් එකත් කරන් 11 E එකට ගියාම ඒ පන්තිය අපේ පන්තිය වගේ නෙමේ හැමෝම මාව වෙනසක් නොපෙන්වා පිලිගත්තා. 

"Saven Marvelous performance බන්!" සඳරු මගේ පිටට තට්ටුවක් දැම්මා.

"කියලා වැඩක් නෑ! පිස්සු පීකුදු!" තව එකෙක් කෑ ගැහුවා.

"වරෙන්, වරෙන් කන්න! කාලා නටමු නටන නැටිල්ලක්!" දේශාන් මගේ බත් එක උදුරලා ගත්තම මට හිනා ගියා. 

"ආහ් මේක කාපන්" තුර්ශ බත් ගුලියක්ම අනලා මගේ කටේ එබුවා. 

"අපිටත් බඩගිනී බන්!" දේශාන් ට ඉරිසියා හිතිලාද කොහෙද!

"තොට ඉරිසියද? ඉඳා! " තුර්ශ ඇහුවේ ඌටත් බත් කටක් කවලා.

"හුකෑස් බේබී? I think I wanna marry you!" තුර්ශත් එකයි තුර්ශගේ යාලුවොත් එකයි. 

"අනේ තෝ නම් මාව මැරි කරන්න එපා. මට මිනිහෙක් ඉන්නවා" මොකක්? මිනිහෙක් ඉන්නවා? තුර්ශට? 

"මිනිහෙක්?" මට ඒක ඇස්සුනා. අහන්න ඕන නැති ප්‍රශ්නයක්. මට අදාලත් නෑ.

"ආහ් ඔව් ඔව්. උඹ දන්නේ නැද්ද?" සඳරු එහෙම අහද්දි තුර්ශගේ මූන ජම්බු වගේ.

"එසේ මෙසේ එකක් නෙමෙයි සවේන් මූ ලයින් කරන් ඉන්නේ! රාජකීය DHP" 

"සිරවට? තුර්ශ?" 

"හී හී හී, මේ වෑයම රජ වීමට නොවේ" තුර්ශ දත් ටික පෙන්නලා මෝඩයෙක් වගේ හිනා වුනා. මට මාර සතුටුයි! මාව මුලුමනින් තේරුම් ගන්න තුර්ශට පුලුවන් උනේ ඒකයි! එයත් මන් වගේ....

මතු සම්බන්ධයි....

More Chapters