LightReader

Chapter 10 - 10

කහ ගැරඬියා බෙල්ල දික් කරන් බලන් ඉන්නවා. අසරණ අහිංසකයා ගැරඬි දෂ්ඨනයට අහු වෙන්න ඔන්න මෙන්න .

" නඟින්න ඉතින්..."

කොල්ලට දුවන්නත් හිතයි. ඒත් ගැරඬියා පස්සෙන් පන්නගෙන ආවොත් කියලා බයයි. එසේ මෙසේ ගැරඬියෙක් නෙවෙයිනේ. තුවක්කුත් පාවිච්චි කරන ගැරඬියෙක් . කොල්ලා බයෙන් බයෙන් වගේ ෆෙජරෝ එකට ගොඩ වුණා .

' අම්මෝ කහ ගැරඬියගේ සුවඳ. මොනාද දන්නෑ perfume එක.'

කොල්ලගේ නහය කඩාගෙන යන පුදුමාකාර සුවඳක් ඒක. මිගාන්ගේ ඇස් කොල්ලා දිහාවට යොමු වෙලා . ඒත් කොල්ලගේ ඇස් නම් බිමට හැරිලා. බය වැඩිකමට කකුල් දෙකත් ගිටාර් ගහන්න වගේ. කලිනුත් මේ වාහනේට ගොඩ වුණාට මොකද දැන් නම් එන්න එන්නම මේ සන්නි යකා ඇඟට එනවා වැඩියි.

" මේ බලන්න "

' ඒ පාර බලන්නලු.අම්මෝ මට නම් බෑ. මුගේ ඇස් දැක්කත් මට චූ බර හැදෙනවා. ඒ අස්සෙ බලන්නත් කියනවා. දෝදුද මූට...'

කොල්ලා හිතින් හිතනවා. මොකුත්ම නොදන්න ගැරඬියා කොල්ලා එයා දිහා බලනතුරු ඉන්නවා.

" බලනවකෝ අයිසේ..."

ඒ පාර නම් ටිකක් හයියෙන් සද්දෙන් ගැරඬියා නියෝග කළා. කොල්ලා ගැස්සිලා ගිහින් ගැරඬියා දිහා බැලුවා . ඒ පාර ගැරඬියාට හිනා.

' දෙන්න හිතයි මූට. වල් මූසල මකබාවා. මාව බය කරලා තව හිනා වෙනවා. මූ වෙන ඩිනෝ මිගාන් සමරදිවාකර නොවෙන්න මගේ මුඩුක්කු කට කියන දේවල් හිතාගන්නවත් බෑ. හිවලා...'

කොල්ලා හිතින් හිතනවා. මොකුත්ම නොදන්න ගැරඬියා හිනා වෙනවා.

" බය වුණාද? "

' නෑ, අනේ නෑ. මං බය නෑ. මොකෝ මං තොට බයවෙන්න තෝ මහසෝනද? රීරි යකාද? එහෙමත් නැත්නම් මහාකෝල සන්නි යකාද? අවලමා...'

කොල්ලා හිතෙන් හිතන දේවල් අසරණ ගැරඬියා දන්නේ නෑනේ. දන්නව නම් ඉතින් වාහනේ අස්සෙදිම වෙඩි තියලා මරන්නේ. එක අතකට හිතේ එකක් තියාගෙන කටෙන් එකක් කියන එක අමාරුමත් නෑ. සත්සිඳු කොල්ලා ඒ වැඩේ කරන්නේ ඔය යස අපූරුවට .

" සර් ඔහොම බය කරද්දී බය හිතෙනවනේ..."

කොල්ලා කියන්නේ බොරු අහිංසකකම ඕනවටත් වඩා පෙන්නමින් . අම්මෝ ඉතින් අහිංසක පිරිමි ළමයෙක්.

" මං එච්චර නපුරුයි වගේ පේනවද? "

" එහෙනම් මට වෙඩි තියන්න හැදුවේ..."

" බොරුවටනේ ළමයෝ. බය කරන්න හැදුවේ මං..."

" නෑනේ. වළක් කපන්නත් කිව්වනෙ ඉතින් ..."

" මං එහෙම කරන්නෑ ළමයෝ..."

කොල්ලා බොරු අහිංසක පෙනුම තාත්විකව නිරූපණය කරනවා. කොල්ලා පුංචි අහිංසක හිනාවක් එක්ක ඇස් කොණකින් ගැරඬියා දිහා බැලුවේ මේ ලෝකෙම ඉන්න එකම අහිංසකයා වගේ. ඒ බැල්මත් එක්ක ගැරඬි හිතත් ඩෝං පටෝං වෙලා ගිහින්. ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්... දෙන්නගෙම හදගැස්ම වැඩි වෙලා . ඊට පස්සෙ ඉතින් ගෙවුණේ වචනයක් දෙකක්වත් කතා නොකර ගෙවුණු මිනිත්තු කිහිපයක් .

අර වැදගත් කතා අස්සෙත් මැදින් advertisement දාන පුරුදු ගොඩක් අය ගාව තියෙනවනේ. මෙච්චර ලස්සන මොහොතකත් කොල්ලගේ බණ්ඩිය මැදින් advertisement දාන්න ගත්තා එක පාරටම .

කොල්ලට ලෙල්ල හුටං වෙන්න බඩගිනියි. බඩ කෑ ගහන්න හදනවා. ඒත් ගැරඬියා ඉස්සරහා බඩගින්නේ බඩ කෑ ගැහුවොත් වස චාටර් එක. හිතලා තප්පරයක් ගියේ නෑ. ඉස්සරහා හිටපු ජේකබ් කාරයාටත් ඇහෙන්නම කොල්ලගේ බඩ කෑ ගහපි. එහෙම්මම ඇස් පියාගෙන කොල්ලා බිම බලාගත්තේ ලැජ්ජාවෙන් . මිගාන් කොල්ලා දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නවා.

" බඩගිනිද ළමයට? "

කොල්ලා මොකුත්ම කිව්වේ නෑ.

" නොකිව්වට බඩගිනියි නේද ? ඊයෙ රෑත් කෑමක් නෑනේ . අද උදේටත් නෑ. දවල්ටත් නෑ. එහෙම නේද ? "

කොල්ලා නිශ්ශබ්දයි.

" ආහ්....එහෙම නේද ? "

කොල්ලා ඔව් කියන්න වගේ යාන්තමට හිස වැනුවා.

" im really sorry ළමයෝ. ඊයේ මං ටිකක් නපුරු වුණා . ටිකක් නෙවෙයි ගොඩක් . මං ගැන එහෙම වැරදියට හිතන්න එපා හරිද? "

" හ්ම්..."

" මට දුක මං නිසා ඔයාට බඩගින්නේ ඉන්න වෙච්චි එක ගැන..."

' ඈ මෙන්න දුකයිලු. හත්තිකේ...ඒ මොන සත්ව කරුණාවක් ද? '

කොල්ලා හිතනවා.

" මං දන්නවා ළමයෝ. ඔයා හිතන්නෙත් අනිත් මිනිස්සු මං ගැන හිතන විදිහට වෙන්න ඇති. හරි , ඒ දේවල් ඇත්ත. මං night club කරවනවා. Bar කරවනවා. Drug බිස්නස් කරවනවා. Prostitutes ලා ආශ්‍රය කරනවා. Underworld connection තියෙනවා . ඇත්ත, ඒවා සහතික ඇත්ත. ඒත් මං නරක මිනිහෙක් නෙවෙයි. මං කියන්නේ ඔයා වගේ අහිංසකයෙක් මරන්න තරම් මං නපුරු එකෙක් නෙවෙයි..."

" සර්..."

" ෂ්.....ඔහොම ඉන්න. ඔයාට බඩගිනියි නේද ? ගොඩක්...ම්...ඔහොම ඉන්නකෝ..."

ගැරඬියා ළඟ තිබුණ පාර්සල් එකක් අරන් කොල්ලගේ අතේ තිබ්බා.

"බෝඩිමට ගිහින් මේක කන්න. ගමේ රහට හදපු බත් එකක්. ගොඩ දවසකින් ගමේ රහට බත් ටිකක් කන්න නැතුව ඇතිනේ. ඔන්න එහෙනම් අද ගිහින් කන්න..."

" සර්..."

කොල්ලට හරි පුදුමයි . කොල්ලා බලන් ඉන්නේ ගැරඬියා ගේ ඇස් දිහා.

" ඇයි පුදුමෙන් වගේ බලන්නේ? "

" සර්ට උයන්න පුළුවන්ද ? "

ගැරඬියා හිනා වෙලා කොල්ලා දිහා බැලුවා . කොල්ලට නම් පුදුමයි. මොනා වුණත් දැන් දැන් කොල්ලගේ හිතෙත් නපුරු ගැරඬියා ගැන තියෙන බය ටිකෙන් ටික නැති වෙලා යන ගමන්.

" මට උයන්න බෑ ළමයෝ... ඔය අපේ බාබු අන්කල් හදන කෑම . දන්නවද , එයාට රසට උයන්න පුළුවන් . මට එක එක කෑම ජාති හදලා දෙනවා. එයා තමයි අදත් ඉව්වේ. ලීක්ස්,අල එකට දාලා රස වෑංජනයක් ඇති. තව පතෝල සම්බෝලයක් ඇති උම්බලකඩ එහෙම දාලා . තව බලමාළු මිරිසට හදලා , පපඩම් බැදලා. ඔයාට කියන්න , මං නම් ආසම බාබු අන්කල්ගේ තක්කාලි සලාදෙට. ඒක නිකන් දිව්‍ය භෝජනයක් වගේ. ගෑවිච්චි ගෑවිච්චි තැන කන්න පුළුවන් . අනික එයාගේ පරිප්පු වඩ. එයා ටැමිල් කෙනෙක්නේ. ඉතින් රසට වඩ හදන්න පුළුවන් . පරිප්පු වඩ හදනවා කොච්චි දාලා, ඉස්සෝ දාලා එහෙම . මාරම රසයි..."

කොල්ලගේ කටට කෙළ උනනවා. හිතේ තියෙන තරහ මරහ ඔක්කොම අමතක වෙලා කොල්ලා බලන් ඉන්නේ නොනවත්වා කියවන ගැරඬියා දිහා. මොන වැරැද්දක් කළත් මොකද හිත හොඳ මනුස්සයා .

" සර් වඩවලට ආසද? "

" නැත්නම්... උඳු වඩ is my favourite . ඔයා දන්නවද අර චූටි වඩ. හරියට අර ඇඟිලි වගේ තියෙන්නේ . අන්න ඒවත් මරු..."

" මට හරි පුදුමයි "

" ඇයි? "

" නෑ ඉතින් ,සර් හරි වෙනස් කෙනෙක්නේ..."

" ඇයි? ඇයි එහෙම කියන්නේ? "

" කොච්චර සල්ලි භාගෙ තිබ්බත්, හොඳ ගෙවල් දොරවල් යාන වාහන තිබ්බත් සර් හරි සරල මනුස්සයෙක් . ඒකයි මං කිව්වේ..."

" ඔයාට එහෙම හිතෙනවද? "

" ඔව් ඉතින්..."

ආයෙමත් කොල්ලගේ බඩ කෑ ගහන්න වුණා . කොල්ලා ගැරඬියා දිහා බැලුවේ ලැජ්ජාවෙන් වගේ. අනේ නපුරු ගැරඬියා නපුරු ගැරඬියා කියලා හම යැව්වට ගැරඬියා නපුරු නෑ අප්පා. ගැරඬියා ටිකක් හොඳයි. පොඩි අවුලකට තියෙන්නේ හැපින්නියොත් එක්ක වෙළෙන්න යන එක විතරයි .

" යං යං, මං ගිහින් ඇරලවන්නම්..."

" අනේ...! සර්ට කරදරයිනේ..."

" අනේ මේ ඕයි, මට මොන කරදරයක් ද?"

කොල්ලට ඇත්තෙන්ම හරි පුදුමයි . ගැරඬියා ගේ මෙච්චර වෙනස් වීමක්. හිතාගන්නවත් බැරි තරම්. එක වෙලාවකට කොල්ලට හිතුණේ මේක ගැරඬියගේ උගුලක්ද කියලා .ඒත් ඉතින් මෙච්චර අවංක විදිහට කතා බහ කරද්දී ගැරඬි පෝතකයව අවිශ්වාස කරන්න තරම් හේතුවකුත් කොල්ලට නෑ. කොල්ලා බෑ බෑ කියද්දිම ෆෙජරෝ එක පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගාවට ඇවිත් නතර වුණා .

" එහෙනම් , පරිස්සමින් යන්න..."

" හ්ම්...සර්ත් පරිස්සමින් යන්න..."

" හරි හරි, මං පරිස්සම් වෙන්නම්. තමුසෙ පරිස්සමින් යනවකෝ. නැත්නම් කවුරු හරි උස්සගෙන යයි..."

කොල්ලට එක පාරටම හිනාවක් එළියට පැන්නා. ඒත් එක්කම නපුරු වුණත් ගැරඬියගේ මූණෙත් ලස්සන හිනාවක් මැවුණා . කොල්ලා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගාවින් බැහැලා ශ්‍රී සුමංගල පාර දිගේ වැටුණා . වාහනය නතර කරගෙනම කොල්ලා නොපෙනී යන තුරුම මිගාන් බලාගෙන හිටියා. කොල්ලා නොපෙනී ගියාට පස්සෙයි ඩ්‍රයිවර්ට යන්න නියෝගය ලැබුණේ .

" යං..."

මිගාන්, ජේකබ් , ඩ්‍රයිවර් එක්ක පිටත් වුණා . සත්සිඳු කොල්ලා ඉතින් ශ්‍රී සුමංගල පාර දිගේ වැටිලා ඉක්මනින් ඉක්මනින් බෝඩිමට ආවේ දරාගන්න බැරි බඩගින්නකින්. නපුරු ගැරඬියා ගෙනත් දුන්නු බත් පාර්සලය කොල්ලගෙ එක් අතක. බත් එක හරි සුවඳයි. උණු උණුවට බත් එක තියෙනවා . කොල්ලගේ කල්පනාවේ තාමත් ඉන්නේ නපුරු ගැරඬියා .

'නපුරුයි වගේ පෙණුනට මොකද එයත් අහිංසකයි වගේ. නෑ නෑ නෑ. මොන අහිංසකකමක්ද? නපුරු දුෂ්ඨයා... ඊයේ මාව මරන්නත් හැදුවේ. මී හරකා... ලෝකෙට නපුරුයි වගේ හිටියට එයා හරි හිත හොඳ මිනිහෙක් හැබැයි...අනේ මන්දා, කොහොම කළත් දවසට දෙකට මනුස්සයෙක්ව විනිශ්චය කරන්න එපා සත්සිඳු...'

කොල්ලා හිතෙන් හිතුවේ එහෙම . හෙමින්දෝ හයියෙන්දෝ මන්දා කොල්ලා බෝඩිමට ගියා. ගියා නෙවෙයි යැවුණා. කොල්ලා හිටියේ මාරාන්තික බඩගින්නක. හරියටම කිව්වොත් ශ්‍රී සුමංගල පාරේ මැද්දක වාඩි වෙලා බත් පාර්සල් එක ලිහා ගෙන කන්න පවා කොල්ලට හිතුණා . කොල්ලගේ හැටියට ඉතින් ඒක කරන්නත් බැරි නෑ. තමන් ගැන හොඳ හැටි දන්න ස්වයං අවබෝධයක් සහිත මිනිහෙක් හැටියට කොල්ලා බෝඩිමට දුවන් ගියා. ජීවිතේටම මෙහෙම බඩගින්නේ හිටියමද කොහෙද ? බෑග් එක ඇඳ උඩට විසි කරලා දාලා කුස්සිය විදිහට පැත්තකින් වෙන් කරලා තිබුණු කුඩා කුස්සියට රිංගගත්තු කොල්ලා අතත් සොදගෙන ඇඳට පැන්නේ ඇඳුම්වත් මාරු කරගන්නේ නැතුව. ඇඳ උඩ වාඩි වෙලා එරමිණිය ගොතා ගත්තු කොල්ලා බත් එක ලිහලා බැලුවා. කීරි සම්බා හාලේ බත් එක්ක ලීක්ස්, අල එකට දාලා හදපු මාළුවක්. දෙහි බිංදු දෙක තුනක මුසුවෙනුයි, උම්බලකඩවලිනුයි රසවත් වුණු පතෝල සම්බෝලයක්. බලමාළු මිරිසට උයලා . පපඩම් බැදලා.

බලමාළු දැක්කම කොල්ලට මතක් වෙන්නෙම ගෙදර. වැල්ල අයිනේ ගෙදර කොච්චර නම් නිදහස්ද? කවදාවත්ම මාළු නොවැරදුණු බත් වේල. නංගිවයි, කොල්ලවයි ළඟ තියාගෙන අම්මා බත් කවන හැටි. ඒවා දැන් අතීතෙටම ගිහින් ඉවරයි. තාත්තා නැති වුණාට පස්සේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා. සුනාමිය ඇවිත් කොල්ලගේ තාත්තවයි, මල්ලිවයි අරන් යද්දී කොල්ලට යාන්තම් අවුරුදු තුනක් වුණා විතරයි . අතීතේ සමහර තැන්වල ගිලෙමින් කොල්ලා බත් එක බඩ පිරෙන්නම කෑවා. ඒ වගේ රසකට බත් ටිකක් කෑවේ ගොඩ කාලෙකින්. අම්මගේ බලමාළු රසමයි. ඉස්සරම දවස්වල බලමාළු තම්බලා ඊට පස්සේ ආයෙමත් මිරිසට උයලා කද්දී ආපු පුරුදු රස කොල්ලට මිගාන් ගෙනත් දීපු බත් පාර්සලයෙන් දැණුනා. කට වාචාල වුණාට ඒ හිතට දැණුන දුකට ඇස්වලට කඳුළුත් ඉනුවා. වම් අතේ පිටි අත්ලෙන් ඇස් දෙක පිහදා ගෙන කොල්ලා බත් පාර්සලයේ එක බත් ඇටයක් ඉතුරු නොවෙන්නම කෑවේ බඩගින්න වැඩි හින්දමයි.

' ගොඩක් පින් සර්,අද දවසෙ මගෙ බඩගින්න නිව්වට...'

කොල්ලා හිතෙන් හිතුවේ ඇස් දෙකේ කඳුළු පුරවගෙන . ඒ කඳුළු ගොඩාක් ආවේ කොල්ලගේ අතීතය මතක් වෙලා . තාත්තා නැති වෙලා අවුරුදු 20 ක් වුණත් තවමත් තාත්තා නෑ යි කියලා කොල්ලට හිතා ගන්න බෑ. කොල්ලට අවුරුදු 3 ක් වෙද්දිම තාත්තා සුනාමි රකුසාට බිලි වුණා . කොල්ලයි, අම්මයි , නංගියි යාන්තමට බේරුණේ ඒ වෙද්දී අම්මා ළමයි දෙන්නවත් අරගෙන මාතර කිරි අම්මලගේ ගෙදර ගිහින් හිටිය නිසා. ඒ දවසෙන් පස්සේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වුණා . අවුරුදු තුනක් වුණ සත්සිඳු වගේම යාන්තම් මාස දෙකක් වුණ නංගිව බලාගන්න අම්මා මාළු දැල් එක්ක ඔට්ටු වුණ හැටි. අවුරුදු තුනක් වුණත් අම්මා මාළු දැල් අදින දිහා වැල්ලට වෙලා ගිනි කාෂ්ඨක අව්වේ මුහුදු හුළං මැද්දේ බිම වාඩි වෙලා බලන් හිටපු හැටි කොල්ලට මතක් වෙනවා. ගෙයක් දොරක් නැතුව අසරණ වෙන්න නොදී ලොකු අප්පච්චී ගෙයක් හදලා නොදෙන්න ඉන්න හිටින්නවත් තැනක් නෑ. වැල්ලේ ගෙදර කිරි අම්මා නංගිවයි, කොල්ලවයි බලාගත්තා. එතකන් අම්මා වැල්ලේ මාළු දැල් අදිනවා.

හවසට යාන්තමට බලමාළු වැලක් හරි පරව් පැටව් දෙතුන් දෙනෙක් උස්සගෙන ගෙදර එද්දී කොල්ලා අම්මා ගාවට දුවන් ගිය හැටි.

" එහාට පලයන් සුදු චූටි, අම්මා ගාව පිලී ගඳයිනෙ මයෙ අම්මා..."

අම්මා කොල්ලව අම්මගෙන් එහෙම කියලා ඈත් කළාට කොල්ලා ආසම ඒ සුවඳට. ඒක කොල්ලගේ ජීවන සුවඳ වගේ. වැල්ලේ දුව පැන ඇවිදිමින් සිප්පි කටු අහුලන්න කොල්ලා ලොකු වෙද්දි ගොඩාක් ආස කළා. යාන්තමට එක වසරට යද්දී කොල්ලත් පුළුවන් වෙලාවට අම්මත් එක්ක දැල් අදින්න යනවා.

" උඹට ඔව්වා කරන්න බෑ සුදු චූටි. ගෙදර පලයන්..."

අම්මා කොච්චර කිව්වත් කොල්ලා යන්නෙ නෑ. නංගිත් එක්කලා වැල්ලේ මාළිගා හදපු අතීතය කොච්චර නම් ලස්සන ද? සුන්දර ද? කොල්ලට හිතුණෙම ආයෙමත් ඒ අතීතේ මොහොතකට නතර වෙන්න. වැල්ලෙන් ඈත් වෙලා කොළඹ ජීවත් වුණාට මොකද කොල්ලගේ හිතේ හරිම සතුට තියෙන්නේ වැල්ලේ.

නාගෙන කාමරයට ඇවිත් කොල්ලා එහෙම්මම ඇස් පියාගත්තා .

මීළඟ කොටසට ...

More Chapters